සිරිපා කරුණා කරන්න කිසිදු අවදානමක් නෑ -NBRO ශ්රී පාද භාරකාර හිමියන්ට දැනුම්දීලා
January 9, 2026 03:54 pm
ශ්රී පාද - හැටන් මාර්ගයේ නායයෑමට ලක්වූ මහගිරිදඹ ප්රදේශය ප්රතිසංස්කරණය කිරීමෙන් පසු ශ්රී පාදය වන්දනා කිරීමට කිසිදු අවදානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තහවුරු කර තිබේ.
ශ්රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්රදේශයේ නායයෑමේ අවධානමක් තවදුරටත් නොමැති බවත්, ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්රී පාදස්ථානයට ගමන් කළ හැකි බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ශ්රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියන්ට දැනුම්දී ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් මහගිරිදඹ ප්රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් පසු ජාතික ගොඩනැගිලි සංවිධානයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා එම ස්ථානයේ නායයෑමේ අවදානමක් පවතින පසුගිය දිනක සඳහන් කළේය.
එම අවදානම සඳහා පිළියම් යොදන ලෙස ලබාදුන් නිර්දේශ කිහිපයක් ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා යුද හමුදාවේ භටපිරිස් විසින් කටයුතු කර තිබුණි.
මේ වනවිට එම ස්ථානය කොන්ක්රීට් පැතිබැමි යොදා අලුතින් සකස්කර ආරක්ෂිත අත්වැටක්ද සවි කිරීමෙන් පසු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් ඊයේ (08) දින එම ස්ථානයට ගොස් නැවත පරීක්ෂා කර බලා මේ වනවිට අවදානමක් නොමැති බව ශ්රී පාද භාරකාර හිමියන්ට හමුවේ පවසා ඇත.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් ඊයේ දින ප්රතිසංස්කරණය කළ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි වාර්තාව ඉදිරි දිනයක දී නිකුත් කරන බව පැවසු බවත් ශ්රී පාද භාරකාර හිමියන් වැඩිදුරටත් පැවසීය.
