හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත් අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

January 9, 2026   01:00 pm

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. 

කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත. 

කොළඹ, බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83.7 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි. 

දීර්ඝ විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවය. 

මෙම විත්තිකරුට පෙර වැරැද්දක් පවතින බවත් පැමිණිල්ල විසින් අධිකරණයට දැනූම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.