ඉදිරි ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ඉදිරි ආපදාවකට මුහුණ දීමට සියලු කටයුතු සූදානම් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

January 6, 2026   10:18 pm

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ හේතුවෙන් ලබන 8 වැනිදා සිට දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවද දැනුම් දෙයි.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

මේ අතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.

එසේම බදුල්ල, මාතලේ සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහාද නායයෑම් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.