පෝලන්ත සිහිනය කටුනායකදී බොඳවෙයි - සිව්දෙනෙක් අත්අඩංගුවට
January 6, 2026 09:42 pm
පෝලන්තය වෙත යාම සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු, කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුනන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (06) උදෑසන අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළක්ද, කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ යාපනය කරෙව්ති ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුද ඇතුළත් වේ.
පෝලන්තය වෙත නීත්‍යානුකූලව පිටත්ව යාම සඳහා වීසා ලබාගැනීමට, මෙම පුද්ගලයින් විසින් තැරැව්කරුවන්ට රුපියල් ලක්ෂ 64ක මුදලක් ගෙවා ඇති බවත්, ඒ අනුව වීසා බලපත්‍ර ලබාගැනීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය වෙත ගොස් ඇගිලි සළකුණු ලබා දී ඇති බවත් වාර්තා වේ.
ඉන් අනතුරුව, ඔවුන් අද උදෑසන 6.00ට නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එහිදී ආගමන නිෂ්කාශන කටයුතු සඳහා ඔවුන් ඉදිරිපත් කළ වීසා බලපත්‍ර සම්බන්ධයෙන් සැකයක් ඇතිවීම හේතුවෙන්, එම ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇති අතර, සිදු කළ තාක්ෂණික පරීක්ෂණවලදී එම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛන බව තහවුරු වී ඇත.
මෙම වීසා බලපත්‍ර ව්‍යාජ බව පිළිබඳව ගුවන් මගීන් එතෙක් කිසිදු දැනුවත්කමක් නොතිබූ අතර, මෙරටට පැමිණීමෙන් අනතුරුව ඒ සඳහා තවත් විශාල මුදලක් ගෙවීමටද ඔවුන් සූදානම්ව සිටි බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව සඳහන් වේ.
