අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නව පනත ගැන විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ නව පනත ගැන විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

January 6, 2026   09:08 pm

2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද (06) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නීතිවිරෝධී වත්කම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව රටේ ආරක්‍ෂක සහ නීතිමය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම පුහුණු සැසියේදී, තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාපිත බැඳීම් සහ තොරතුරු වසන් කිරීමෙන් ඇතිවිය හැකි නීතිමය ප්‍රතිවිපාක කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.

සංවිධානාත්මක මූල්‍ය අපරාධ මර්දනය කිරීමේ ජාතික ප්‍රයත්නයේ මූලික පදනමක් ලෙස මෙම වැඩමුළුව ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

මෙහි ප්‍රධාන දේශනය, අතිරේක සොලිසිටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නීති) වන එයාර් කොමඩොර් සුදර්ශන ද සිල්වා (ජනාධිපති නීතිඥ) මහතා විසින් පවත්වන ලදි.

2025 ජුනි 01 වන දින සිට බලාත්මක වූ මෙම නව නීතිමය රාමුව පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කළ ඔහු, අපරාධයකින් උත්පාදිත දේ යැයි සැක කෙරෙන තොරතුරු දන්නා ඕනෑම පුද්ගලයෙකු හෝ නිලධාරියෙකු එම තොරතුරු අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීම නීත්‍යානුකූලව අනිවාර්ය බව අවධාරණය කළේය.

තවද, හිතාමතාම නොසලකා හැරීම හෝ තොරතුරු හෙළිදරව් කිරීමට අපොහොසත් වීම මෙම පනත යටතේ බරපතළ වරදක් වන අතර, ඒ සඳහා දැඩි නීතිමය දඬුවම් නියම විය හැකි බවද ඔහු සඳහන් කළේය.

නව නීතිමය රාමු පිළිබඳ ත්‍රිවිධ හමුදා සහ සිවිල් පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මනා අවබෝධයක් ලබාදීම තුළින් විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ නීතිවිරෝධී මූල්‍ය ජාලයන් හඳුනාගෙන ඒවා අඩපණ කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ අරමුණ බවද මෙහිදී අවධාරණය විය.

අන්තර්ක්‍රියාකාරී සැසියකින් අනතුරුව මෙම වැඩසටහන අවසන් වූ අතර, එයට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන), ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නීති වෘත්තිකයන් සහ සිවිල් පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.