අමෙරිකානු භාරයට ගත් වෙනිසියුලානු ජනාධිපතිට අධි චෝදනා ගොනු කෙරේ

අමෙරිකානු භාරයට ගත් වෙනිසියුලානු ජනාධිපතිට අධි චෝදනා ගොනු කෙරේ

January 3, 2026   06:38 pm

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර නිව්යෝර්ක් හිදි අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳට මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සහ එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත නිව්යෝර්ක් නුවර අධි චෝදනා ගොනු කර තිබේ.

චීන රජයේ විශේෂ නියෝජිතයෙකුවන කියු ෂියෝකි ඊයේ (02) ජනපති මදුරෝ හමුවී දිනක් ගතවීමටත් මත්තෙන් අමෙරිකාව මෙම ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයකි.

ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධව පෙන්වා දෙනුයේ නඩු විභාගය අවසන්වීමෙන් අනතුරුව ඔහුගේ ඉරණම අමෙරිකානු බන්ධනාගාරයකින් අවසන් වනු ඇති බවය.

වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීමේ අමෙරිකානු ආරම්භය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි යුද හමුදා කඳවුරු වෙත පහරදීම සම්බන්ධව මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවිය.

වෙනිසියුලානු වේලාවෙන් අද (03) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරය සම්බන්ධව පළමුව වාර්තා වූයේ එරට ස්ථාන කිහිපයක පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවය. කෙසේ නමුත් මෙය ප්‍රහාරයක් බවත් ඒ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝග ලැබුණු බවත් පසුව වාර්තා විය.

ප්‍රහාරයෙන් නගරයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති අතර ඇතැම් වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත්තේ අමෙරිකානු ගුවන්යානා විසින් වෙනිසියුලාවේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර දියත් කරන බවය.

ප්‍රහාරයත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි එරට ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ විසින් පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර තිබුණේ ප්‍රහාරයෙන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා අමෙරිකානු අත්අඩංගුවට පත්වූ බවය.

විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බළකාය විසින් මදුරෝ අල්ලා ගත් බවය.

පසුව මෙම පුවත සනාථ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල් කර ඇති බවය.

මෙම ප්‍රහාරයත් සමග වානිජ ගුවන් යානා වෙනිසියුලානු ගුවන් කලාපය මගහැර පියාසර කරනුද දක්නට ලැබුණි.

මධුරෝ සහ එක්සත් ජනපදය අතර මතගැටුම

නිකොලොස් මධුරෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයකට නායකත්වය ලබා දෙන බවට එක්සත් ජනපදය දිගු කලක් පුරාවට චෝදනා කළ අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපදයට තොරතුරු ලබා දෙන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 50ක ත්‍යාගයක්ද ලබා දෙන බවට එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම පසුගිය 2024 මැතිවරණයෙන් නැවත බලයට පැමිණි මධුරෝගේ එම ජයග්‍රහණය  නිදහස් හෝ සාධාරණ මැතිවරණයක් නොවන දූෂිත ජයග්‍රහණයක් බව චෝදනා කළ එක්සත් ජනපදය ඔහු වෙනිසියුලාවේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා ලෙසද නොපිළි ගැනීමට කටයුතු කළේය. 

කෙසේ වෙතත් අමෙරිකාවෙන් එල්ල වූ මෙම චෝදනා නිකොලොස් මධුරෝ විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

එමෙන්ම අමෙරිකාවේ ක්‍රියා කලාපය සම්බන්ධව විවේචනය කරමින් මධුරෝ සඳහන් කර ඇත්තේ ලොව විශාලතම යැයි සැලකෙන වෙනිසියුලාවේ ලාභදායි තෙල් සංචිත සොරකම් කිරීමට අමෙරිකාවට අවශ්‍යව ඇති බවය. 

කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුළ වෙනිසියුලානු මුහුදු සීමාව හරහා මත්ද්‍රව්‍ය රැගෙන යන බවට චෝදනා එල්ල වූ මුහුදු යාත්‍රා කිහිපයක් සඳහාම අමෙරිකාව ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර කළේය.

වෙනිසියුලාවට තවදුරටත් ප්‍රහාර නෑ - වෙනිසියුලාව පුරා හමුදාව කැඳවීමටත් නියෝග

මේ වන විට මතුව ඇති තතත්වය සම්බන්ධව ලොව පුරා අවධානය යොමුව ඇති මොහොතක වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා නොකර බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ වෙනිසියුලානු ජනාධිපතිවරයා මේ වන විට අමෙරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ප්‍රහාර දියත් කිරීමේ අරමුණක් නොමැති බවය.

මේ අතර පවතින තත්ත්වය මත රට පුරා වහාම හමුදා භට පිරිස් යෙදවීමට වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවට එරෙහිව මෙතෙක් සිදුවූ නරකම ආමන්ත්‍රණය සිදුව ඇති බවත් වෙනිසියුලාවේ සියලු සන්නද්ධ හමුදා යොදවන බවට මදුරෝගේ නියෝග අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කර ඇත.

මේ අතර අමෙරිකාව විසින් නිකොලොස් මධුරෝ අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ කිරීමත් සමග එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ඒ පිළිබඳ සාක්ෂි ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උප ජනාධිපතිවරිය සඳහන් කර ඇත්තේ ජනාධිපති මධුරෝ සහ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරස් සිටින ස්ථානය වෙනිසියුලානු රජය නොදන්නා බවත් ඔවුන් දෙදෙනාගේම ජීවිතය පිළිබඳ ක්ෂණික සාක්ෂි රජය ඉල්ලා සිටින බවත් උප ජනාධිපතිවරිය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇතැයි එහි සඳහන් වේ.  

කොලොම්බියානු ජනාධිපතිගෙනුත් හදිසි නියෝගයක්

මේ අතර වෙනිසියුලාවේ මතුව ඇති තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනිසියුලානු දේශසීමව හරහා හමුදාව යෙදවීමට කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ නියෝග කර තිබේ.

වෙනිසියුලාවේ කැරකස් සහ අනෙකුත් ප්‍රදේශවයට එල්ල වී අමෙරිකානු ප්‍රහාරවලින් පසු වෙනිසියුලාවේ සරණාගතයින්ගේ දැවැන්ත ගලා ඒමක් මතුවිය හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇත.

විදෙස් රටවල් රැසකින් ප්‍රහාරයට විරෝධය

 වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාර සම්බන්ධව විදෙස් රටවල් රැසක අවධානය මේ වන විට යොමුව තිබේ.

ප්‍රහාර සම්බන්ධව අදහස් දක්වමින් කියුබාව සහ කොලොම්බියාව මීට එරෙහිව ජාත්‍යන්තර පාර්ශ්වවල මැදිහත්වීමක් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

වෙනිසියුලාවද සිද්ධිය සම්බන්ධව එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්ද ඉල්ලා ඇති අතර රුසියාව සහ ඉරානයද මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.