නව වසරේ පාර්ලිමේන්තුවේ රාජකාරි ඇරඹෙයි

නව වසරේ පාර්ලිමේන්තුවේ රාජකාරි ඇරඹෙයි

January 1, 2026   04:27 pm

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව වසරේ රාජකාරි ඇරඹීම අද (01) පෙරවරුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා අවධාරණය කළේ සමස්ත ජාතියේ නැවුම් පරිවර්තනයක් ජනතාව අපේක්ෂා කරන බැවින් දසවැනි පාර්ලිමේන්තුවට සුවිශාල වගකීමක් පැවරී ඇති බවය.

ඒ අනුව පාරදෘශ්‍ය බවකින් සහ වගවීමෙන් කටයුතු කිරීමේ විශාල වගකීමක් සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවරී ඇති බව කථානායකවරයා අවධාරණය කළේය. 

එමෙන්ම ගත වූ කාලය තුළ එහි සාධනීය ලක්ෂණ රැසක් දක්නට ලැබුණු බව ඒ මහතා සඳහන් කළේය.

සමාජ සංවර්ධනය සිදුවීමේදී සාධාරණත්වය සහ සමානාත්මතාව පාර්ලිමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයට ද ලබා දෙන බවත් කථානායකවරයා පැවසීය. 

ඒ අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් උපරිම වශයෙන් ආරක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

පාර්ලිමේන්තු පරිපාලනය ශක්තිමත් කරමින් තවදුරටත් විශිෂ්ට සේවාවක් සපයන කාර්ය මණ්ඩලයක් බවට පත් වීමට නව වසරේදී ශක්තිය ධෛර්ය පතන බව ද නව වසරට සුබ පැතුම් එක් කරමින් කථානායකවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ රටක් වශයෙන් සංවර්ධන ඉලක්ක හඹා යෑමේදී ව්‍යවස්ථාදායකය ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවරෙන වගකීම සුළු පටු නොවන බවය.

රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට දායක වීමට සහ පාර්ලිමේන්තුව නැරඹීමට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු අනෙකුත් සියලු කටයුතු මෙලෙසින් පවත්වා ගැනීමට කැපවන පාර්ලිමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන බව නව වසරට සුබ පැතුම් එක් කරමින් ඇය පැවසුවාය. 

එසේම පාර්ලිමේන්තු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට ද අනෙකුත් අනුබද්ධ කාර්ය මණ්ඩලවල කැපවීමට ද මහලේකම්වරිය සිය ස්තූතිය මෙහිදී පළ කළාය.

එසේම මෙහිදී සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව /දිවුරුම හඬනගා කියවීම සිදු කෙරිණි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, කාර්යය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මිහු ද, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පාර්ලිමේන්තු සහ අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.