හෙළයේ මියුරු හඬ ලතාව සදහටම නික්ම යයි

හෙළයේ මියුරු හඬ ලතාව සදහටම නික්ම යයි

December 31, 2025   05:39 pm

දශක 08ක් පුරා ශ්‍රී ලාංකීය රසිකයන්ගේ සවන් පිනවූ හෙළයේ මහා ගීත කෝකිලාවිය කලාසූරි ලතා වල්පොල මහත්මිය සිය ජීවන ගීය නිමාකරමින් අද (31) දැයෙන් සමුගත්තාය.

ඇගේ අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිදුකිරීමෙන් පසු භූමදාන කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකෙරුණි.

ඒ සුවහසක් ජනතාවගේ සෝ සුසුම් මැදයි.

හෙළයේ ගීත කෝකිලාවිය, කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ සිට අද පෙරවරු 9ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත රැගෙන ආවේය. 

ඇයට ආදරය කළ, ඇගේ හඬින් සැනසුණු රසිකයන්, සහෝදර කලාශිල්පීන් මෙන්ම අති විශාල පිරිසක් ඇයට සිය අවසන් ගෞරවය දැක්වීමට අද උදෑසන සිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට පැමිණියහ.

නිදහස් චතුරස්‍රයේ ඉහළ පීඨිකාවේ තැන්පත් කර තිබූ ලතා වල්පොල මහත්මියගේ දේහය අද පස්වරු 1ට පහළ පීඨිකාව වෙත රැගෙන ආවේ ආගමික වතාවත් සිදුකිරීම සඳහාය.

බෞද්ධ ආගමික වතාවත්වලට අනුව පාංශුකූලය ලබාදීමෙන් පසු කිතුනු ආගමික වතාවත් සිදුකෙරුණි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අවමංගල සභාව ආරම්භ වූ අතර කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවමංගලෝත්සවය පැවැත්වුණේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවය. 

සිය ජීවන ගීය ගයා අවසන් කළ හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරි ලතා වල්පොල මහත්මිය,  සිය දරුවන්ට සහ ඥාතීන්ටත් සහෝදර කලාශිල්පීන්ටත් ඇයට ආදරය කළ සුවහසක් ආදරණීය රසිකයින්ටත් මෙලෙස සමුදුන්නාය.