ආසියාතික රටවලට බලපෑ කාලගුණික තත්ත්වයන් ගැන පර්යේෂකයන්ගෙන් හෙළිදරව්වක්
December 11, 2025 06:33 pm
ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මලයාසියාව සහ තායිලන්තය ඇතුළු ආසියාතික රටවල් රැසකට දැවැන්ත විනාශයක් ඇතිකරමින් නොවැම්බර් මාසය අවසානයේ ඇති වූ සුළි සුළං වඩාත් සක්‍රීය වී ඇත්තේ දේශගුණික විපර්යාසයේ බලපෑමෙන් බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දී තිබේ.
මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් අග්නිදිග ආසියාතික කලාපයට බලපෑ සෙන්යා සුළිසුළඟින් පුද්ගලයින් 1200ක් පමණ ජීවිතක්ෂයට පත්විය.
ඉන් 969දෙනෙකුම ඉන්දුනීසියානු සුමාත්‍රා දිවයිනේ වැසියන් බව සඳහන් වේ.
ඒ අනුව ඉන්දුනීසියාව නැවත ගොඩනැඟීමේ කටයුතුවලට ඩොලර් බිලියන 03ක් පමණ අවශ්‍ය වන බව එරට බලධාරීන් පවසා තිබේ.
දිට්වා සුළිසුළඟින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 639ක් මිය ගොස් තවත් 191දෙනෙකු අතුරුදන් විය.
ශ්‍රී ලංකාවට දිට්වා සුළි සුළඟින් ඇති වූ ආර්ථික හානිය ඩොලර් බිලියන 07ක් පමණ වන බව මූලික ඇස්තමේන්තුවල සඳහන් වෙයි.
නොවැම්බර් සුළිකුණාටු සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයන්වලදී අනාවරණය වී ඇත්තේ දින පහක් අඛණ්ඩව ඇදහැළුනු ධාරානිපාත වර්ෂාපතනය සහ ඉන්දීය සාගරයේ උතුරුදිග ප්‍රදේශයේ සාගර ජල උෂ්ණත්වය ඉහළයාම මෙලෙස සුළිසුළං වඩාත් ප්‍රචණ්ඩවීමට හේතු වූ බවය.
සුළි සුළඟට ආසන්නයේ මෙම සාගර කලාපයේ උෂ්ණත්වය 1991 සිට 2020 දක්වා කාලයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දශම දෙකකින් ඉහළ මට්ටමක පැවතුනු බවද මෙම පර්යේෂකයන් සඳහන් ඇත.
මෙලෙස සාගර ජලයේ උෂ්ණත්වය ඉහළයාම සුළිසුළඟට අමතර උණුසුමක් සහ ශක්තියක් එක්කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම කාර්මික යුගයට පෙර පැවති උෂ්ණත්වයට වඩා වර්තමානයේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.3ක ඉහළ අගයක් ගෙන ඇත.
එවැනි තත්ත්වයක් නොතිබුනේ නම් නොවැම්බර් මාසය අවසානයේ ඉන්දීය සාගර ජලයේ උෂ්ණත්වය මීට වඩා සෙල්සියස් අංශකයකින් පමණ අඩු මට්ටමක තිබිය යුතු බව ද පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
දිට්වා සුළි සුළඟින් ශ්‍රී ලංකාව විනාශකාරී බලපෑමක් ඇතිකිරීම සඳහා දේශගුණික විපර්යාසයේ බලපෑම 28% සිට 160% දක්වා වන බව ඔවුන් සඳහන් කර ඇත.
එමෙන්ම මේ ආකාරයේ ප්‍රචණ්ඩ සුළිකුණාටු නව භූ ගෝලීය ප්‍රදේශවල වෙනස් ගමන් පථයන් සහිතව සිදුවිය හැකි බවටත් මෙම පර්යේෂකයන් පිරිස අනතුරු අඟවා ඇත.
