අමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් සහ ජනපති අතර හමුවක්

අමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් සහ ජනපති අතර හමුවක්

December 11, 2025   06:13 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකිවනු ඇති බවත්, එහිදී අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට අමෙරිකාව සුදානමින් සිටින බවත් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී උප ලේකම්වරිය මේ බව සඳහන් කළාය. 

ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනය හමුවේ සහාය ලබාදීමට හැකි වීම පිළිබඳ මෙහිදී සතුටු පළ කළ Allison Hooker මහත්මිය ආපදාවෙන්  මිය ගිය සියලුදෙනාගේ පවුල් වෙතද සිය ශෝකය පළ කර සිටියාය.

මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක් වූ සහාය වෙනුවෙන් මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාව ඇතුළු ලොව සියලු මිත්‍ර රාජ්‍යයන් ශ්‍රී ලංකාවට දැක් වූ හෘදයාංගම සහාය ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ආර්ථික දර්ශකද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සහ දිගුකාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශ වී ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී යටිතල පහසුකම් සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ආදායම් මාර්ග යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් යම් කාලයක් ගත වන බවත්,  එහිදී  සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එක්සත් ජනපද තීරුබදු පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙන බවත්, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහ නාවික කටයුතු පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය ලබාදීමට කටයුතු කරන බවත් උප රාජ්‍ය ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය සහාය ලබා දෙන බවද සඳහන් කළාය.

පසුගිය කාලයේ අමෙරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණි අතර, තවදුරටත් එම පැමිණීම අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින ව්‍යසනය තත්ත්වයෙන් මිදී ශ්‍රී ලාංකික ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීමට අමෙරිකානු රජය ලබාදෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.