ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර පද්ධතිය වැඩිදියුණු කිරීමට වාහන මිලදී ගන්න කැබිනට් අනුමැතිය
December 11, 2025 05:12 pm
ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලවල එනම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාථමික සත්කාර හෙද නිලධාරීන් සහ අධීක්ෂණ කණ්ඩායම් සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් අවශ්‍ය වාහන ප්‍රසම්පාදනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව නිවෙස් පාදක සත්කාර සහ ප්‍රජා සම්බන්ධතා ආවරණය පුළුල් කිරීම, ක්ෂේත්‍ර පරීක්ෂණ සහ අධීක්ෂණ කාර්යයන්හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, සායනික අපද්‍රව්‍ය ආරක්ෂිතව සහ නිසි වේලාවට ප්‍රවාහනය කිරීම සහතික කිරීම සඳහා ප්‍රවාහන ධාරිතාව වැඩිදියුණු කිරීම පිණිස මෙම තීරණය ගෙන ඇත.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 150ක අරමුදල් සලසා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය සමඟ මුල්‍ය ගිවිසුමක් අත්සන් කර ඇත.
බෝ නොවන රෝග වැළැක්වීම හා කළමනාකරණය, වැඩිහිටි හා සහන සත්කාර, ප්‍රජා මට්ටමේ සේවාවන් ශක්තිමත් කිරීම සහ දේශගුණය ආශ්රිත සෞඛ්‍යමය හදිසි අවස්ථා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නැගීම ඇතුළු සෞඛ්‍ය සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින්, එම ව්‍යාපෘතිය 2024 සිට 2028 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවිය හැකි බාධාවක් ලෙස මෙම ප්‍රවාහන පහසුමක් ප්‍රමාණවත් නොවීම හඳුනාගෙන ඇති අතර ඊට පිළියමක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
ප්‍රසම්පාදනය කරනු ලබන වාහන පහතින්,
* සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26ක්
* ඩබල් කැබ් රථ 26ක්
* ආසන 10 ක් සහිත වෑන් රථ 05 ක්
* ආසන 42 සහික බස් රථ 02ක්
* පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සඳහා ස්කූටර් 2,891ක්
* මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් සඳහා ස්කූටර් 200ක්
* මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි 1,350 ක්
* රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200 ක්
* වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධිශීත කරණ ට්‍රක් රථ 20 ක්
* වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් 08ක්
* පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා කෘෘ කැබ් රථයක්
* යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක්
