දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් දිවයිනට

දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් දිවයිනට

December 11, 2025   12:51 pm

දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මිය අද (11) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.

ආර්ථික හා වාණිජ සබඳතා පුළුල් කිරීම, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමුද්‍රීය ස්වෛරීභාවයට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරන ද්විපාර්ශ්වික කරුණු රාශියක් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට උප රාජ්‍ය ලේකම් හූකර් මහත්මිය බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් වේ.

කලාපීය ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය උදෙසා ඇති අන්‍යෝන්‍ය කැපවීම තුළ මුල් බැසගත් ශක්තිමත් සහ කල් පවතින හවුල්කාරීත්වයක් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති කාර්යාලය පවසයි.

ආරක්ෂක, වෙළෙඳ සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමීප සහයෝගිතාව තුළින්, නිදහස්, විවෘත සහ අභියෝගයන්ට ඔරොත්තු දෙන ඉන්දු - පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාමට එක්ව කටයුතු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති කාර්යාලය දැනුම් දී තිබේ.

උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව ගොඩනඟා ගන්නා අතරතුර, දිව්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමේ දී ද එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එක්ව සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ

එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්වයට ඇති අමෙරිකානු අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරමින්,  දෙරටටම වැදගත් වන ක්ෂණික අභියෝග සහ දිගු කාලීන අවස්ථා යන දෙකම ආමන්ත්‍රණය කරමින් එක්ව කටයුතු කිරීමට කැපව සිටිමු යනුවෙන්ද එම නිවේදනයෙන් පවසා තිබේ.