දොම්පේ, බියගම, කැලණිය ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක් - ''හැකි ඉක්මනින් ඉවත්වන්න''
November 28, 2025 05:17 pm
දොම්පේ, බියගම, කැලණිය ආශ්රිත ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසයි.
පවතින සුළු ගංවතුර තත්ත්වය තව පැය කිහිපයකින් මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් මෙසේ අනතුරු ඇඟවීම් සිදු කළ බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම එහි සිටින ජනතාව ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මා ඔය පිටාර ගැලීම හේතුවෙන් දිවුලපිටිය සහ මීරිගම ප්‍රදේශවල 800ක් පමණ පුද්ගලයින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවය.
මේ අතර ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම නගරයේ වෙළෙඳසැල් හිමිකරුවන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී.
එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපාංකවල ජල මට්ටම විශ්ලේෂණය අනුව මෙම පුරෝකථනය සිදුකර ඇත.
