පවතින තත්ත්වය හමුවේ කඳුකරයේ ඕනෑම ස්ථානයක් නායයෑමේ අවදානමක්

පවතින තත්ත්වය හමුවේ කඳුකරයේ ඕනෑම ස්ථානයක් නායයෑමේ අවදානමක්

November 28, 2025   05:01 pm

දැනට පවතින ආපදා තත්ත්වය අනුව ඕනෑම මොහොතක කඳුකරයේ නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මෙය ජීවිත කාලය තුළ මුහුණදුන් අති විශේෂ අසාමාන්‍ය තත්ත්වයක් වන බවය.

ඕනෑම අවස්ථාවක කඳුකරයේ පැය 24ක කාලයක් මි.මී 150ට වැඩි වර්ෂාපතනයක් පැවතුනහොත් එම ස්ථානයන් නායයෑමේ ඉඩකඩ ඇති බව ද පැවසු ඒ මහතා, මේ වනවිට ගත වූ පැය 24ක කාලය තුළ මි.මී 500ට අධික වර්ෂාපතනයක් කඳුකරයට ලැබී ඇති බව කියා සිටියේය.

එනිසා කඳුකරයේ ඕනෑම අවස්ථාවක පවතින තත්ත්වය තුළ නායයෑමක් සිදුවිය හැකි බවත් ඒ නිසාවෙන් පස් කණ්ඩි ඇති ස්ථානවලින් ජනතාව වහාම ආරක්ෂාකාරී ස්ථානවෙත ගමන් කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටී.

දැනට තිබෙන තත්ත්වය අනුව නිලධාරීන් කළ හැකි දේ සීමා වී ඇති බවත්, ඔවුන්ට ආපදා ස්ථානයන් වෙත ගමන් කිරීම පවා අසීරු වී ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.

"මේ වනවිට සමහර තැන්වලට මි.මී 500 - 600 වගේ ලැබිලා. මේ වනවිට කඳුකර ප්‍රදේශවලට නායයන දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. සමස්ත වර්ෂාපතනය දවස් 10ක ගත්තහම මි.මී 1000ක් පමණ වෙලා තියෙනවා. මේක අති විශේෂ අසාමාන්‍ය තත්ත්වයක් අපේ ජීවිත කාලය තුළ අත්වින්ඳ. ඒ නිසා ඕනෑම තැනක තමන්ගේ නිවාස පිටුපස කණ්ඩි තියෙනවා නම් ඒවා ගේ මතට කඩා වැටීමේ හැකියාව තියෙනවා. අපේ නිලධාරීන්ටත් රාජකාරීවලට එන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඇත්තටම නායයන්නේ කොතැනද නොයන්නේ කොතැනද කියන එකත් වෙන්කර ගන්න බෑ. අපෙන් ඇහුවත් කියන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා. ඕනෑම තැනක් නායයෑමට ඉඩතියෙනවා. හැකි සෑම විටම අනාරක්ෂිත තැනින් ඉවත්වෙලා ආරක්ෂිත තැනකට යන්න."