ශ්‍රී ලංකාවට කඩුලු 9ක සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 9ක සුපිරි ජයක්

November 25, 2025   09:38 pm

තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද (25) පැවති තරගයෙන් කඩුලු 9ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 147කි.

එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ ලකුණු 148ක් ලබා සිය ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස සමත්විය.

තරගයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 58ක් තුළ නොදැවී ලකුණු 98ක් වාර්තා කළේය.

ඊට 4 පහර 11ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව සහභාගි වූ 3 වැනි තරගය මෙලෙස පාකිස්තානයේ රාවල්පින්ඩි හිදී පැවැත්වුණි.

මේ අතර T20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය.

T20 තරගවලදී ලකුණු 2305ක් රැස් කර සිටි කුසල් ජනිත් පෙරේරා පසුකර යමින් පැතුම් නිස්සංක මෙලෙස පළමු ස්ථානයට පත්වූයේ ලකුණු 2326ක් රැස් කරගනිමිනි.