සීනිගමදී හෙරොයින් සමග  තවත් තිදෙනෙක් අත්අඩංගුවට

සීනිගමදී හෙරොයින් සමග තවත් තිදෙනෙක් අත්අඩංගුවට

November 8, 2025   06:45 pm

සීනිගම ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 416ක තොගයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 10,811,500.00ක මුදලක් ද පොලීසිය සොයා ගෙන තිබේ. 

අදාළ මත්ද්‍රව්‍ය තොගය පසුගියදා තංගල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයට අයත් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේය.