සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ විරෝධතා අඛණ්ඩව
November 6, 2025 02:15 pm
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා මන්නාරම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස ඉල්ලා පවත්වන විරෝධතාවය තවදුරටත් අඛණ්ඩව සිදු කිරීමට මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව තීරණය කර තිබේ.
අදාළ කරුණු මුල් කරගනිමින් මන්නාරම ප්‍රදේශයේ ජනතාව ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවට මේ වන විට දින 100කට ආසන්න කාලයක් ගතවී ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව පැවසුවේ ඉදිරි කාලයේදී කිසිදු සුළං බලාගාරයක් මන්නාරම් ඉදි නොකිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන නමුත් දැනට ඉදිකර ඇති සුළං විදුලි බලාගාර හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින ගැටළු සඳහා සාධාරණ විසඳුම් ලබාදීමට පියවර ගෙන නොමැති බවය.
එම ගැටළු සඳහා නිවැරදි විසඳුම් ලබාදීම මෙන්ම මන්නාරම දූපත ආශ්‍රිතව සිදු කිරීමට නියමිත ඛනිජ වැලි කැනීම් නවත්වන බවට පොරොන්දුවක් ලබා දෙන්නේ නම් පමණක් සිය අඛණ්ඩ විරෝධතාව අත්හිටුවන බව ඔවුන් සඳහන් කර ඇත.
සිය අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සිදු කරන මෙම ඉල්ලීම් සඳහා යහපත් මැදිහත්වීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දේවගැති මාර්කස් පියතුමා පැවසුවේය.
