'දරිද්‍රතාව පිටුදකින ගමනට ජාත්‍යන්තර අත්දැකීම් වැදගත්' - කම්කරු නි.අමාත්‍ය මහින්ද ජයසිංහ
November 6, 2025 11:57 am
මෙරට දුප්පත්කම තුරන් කිරීම සඳහා ජාත්‍යන්තරයේ අත්දැකීම් අතිශය වැදගත් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දෝහා කටාර්හි පැවැත්වෙන සමාජ සංවර්ධනය සඳහා වූ දෙවන ලෝක සමුළුවට සහභාගී වෙමින් එරට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අමාත්‍යවරයා වැඩිදුර සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුල 25%කට ආසන්න ප්‍රතිශතයක් දරිද්‍රතාවයෙන් පෙලෙන බවත් මෙරට දුප්පත්කම පිටු දැකීම සඳහා ලොව රටවල්වල අත්දැකීම්, අදහස් සහ යෝජනා පිටිවහලක් කර ගත හැකි බවත්ය.
මෙම සමුළුවේ මංගල සැසිය 1995 වසරේදී පවත්වා තිබුණු අතර ඒ අනුව මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ වසර 30කට පමණ පසුව වීම ද විශේෂත්වයකි.
මංගල සැසිය සඳහා සහභාගී වෙමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස්,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් කේට් ගිල්මෝ සහ අධ්‍යාපන විද්‍යා හා ප්‍රජා සංවර්ධන සඳහා වූ කටාර් පදනමේ සභාපති ශේකා මෝසා බින් නසර් මහත්මිය අදහස් දක්වා ඇත.
ජගත් මහලේකම්වරයා එහිදී පවසා ඇත්තේ අධ්‍යාපනය සියලු ජාතීන්ගේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන අතර අධ්‍යාපනය නමැති පාදම තුල ඇති සියලු බිඳීම් ප්‍රතිසංස්කරණය කරමින් කටයුතු කළ යුතු බවය.
අධ්‍යාපනය යනු සුඛෝපභෝගී දෙයක් හෝ පුද්ගලයෙකුට ලබා දෙන සහායක් හෝ නොවන අතර එය මිනිසුන්ගේ අයිතිවාසිකමක් වන බව විද්‍යා හා ප්‍රජා සංවර්ධනය සඳහා වූ කටාර් පදනමේ සභාපති ශේකා මෝසා බින් නසර් මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර අද(06) දින ලෝක නායකයින් සහ ආණ්ඩු නියෝජිතයින් එක්ව 1995 ලෝක සමාජ සම්මේලනයේ ප්‍රධාන ඉලක්කයන් වන දුප්පත්කම තුරන් කිරීම, සුනිත්‍ය රැකියා, සහ සමාජ ඒකාබද්ධතාවය තහවුරු කිරීම කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
ඊට සමගාමිව පැවති 'දරිද්‍රතාවයෙන් මිදෙන මග' යන තේමාව යටතේවන වැඩසටහනකට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහභාගි විය.
