තමිල්නාඩුවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික සරණාගතයින් වෙනුවෙන් ඉන්දීය මධ්‍යම රජයට ඉල්ලීමක්
November 6, 2025 11:49 am
දශක කිහිපයක සිට තමිල්නාඩුවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ඡන්ද අයිතිය සහ පූර්ණ පුරවැසිභාවය ලබාදෙන ලෙස පාට්ටාලී මක්කල් කච්චි නිර්මාතෘ එස්. රාමදාස් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
තමිල්නාඩුවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික සරණාගයින් බොහෝ පිරිසක් ඉන්දියාවේ ඉපදී එහි හැදී වැඩී ඇති බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පසු ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික දමිළ ජනතාවක් නිවාස සහ ජීවනෝපායන් අහිමි වී තමිල්නාඩුවට සංක්‍රමණය වූ බව රාම්දෝස් පැවසීය.
ඊයේ (05) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
"2009 යුද්ධය අවසන්වීමෙන් පසුව පවා දහස් ගණනක් මෙහි රැකවරණය පතා දිගටම රැඳී සිට ඇත. අද වනවිට ලක්ෂයකට ආසන්න දමිළ ජනතාව තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 116ක වාසය කරයි. දශක ගණනාවක් ඉන්දියාවේ ජීවත් වුවද එම සරණාගතයින්ට තවමත් නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවසර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. මෙහි ඉපදී අධ්‍යාපනය ලැබූ තරුණ පරම්පරාවට තවමත් මූලික අයිතිවාසිකම් අහිමිවී ඇත."
"බොහෝ දෙනෙකු තම පාසල සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත. නමුත් නීති මගින් රජයේ රැකියා සඳහා අයදුම් කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත." රාමදාස් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පවසා තිබේ.
