කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රෝස පැහැ ගැන්වෙයි
October 22, 2025 04:50 pm
සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහය පළ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කථානායක ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම අද (22) පාර්ලිමේන්තුවේදී සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට ද සංකේතාත්මක ලාංඡන පැළඳවීම සහ අත්පළඳනා ලබා දීම සිදු කෙරිණි.
තවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අභියසදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පියයුරු පිළිකා මර්දනය පිළිබඳ දැනුවත් කිරීමට සහය පළ කිරීමේ ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම සිදුවිය.
එසේම සංසදය විසින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන්ට ද ලාංඡන පැළඳවීම සිදුකෙරිණි.
අද මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණ තිබුණි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් හදුනාගන්නා බවත් ඉන් 3 දෙනෙකු මිය යන බවත් මෙම අවස්ථාවට සහභාගීවූ වෛද්‍යවරියෝ සඳහන් කර ඇත.
පියයුරු පිළිකාව කල් ඇතිව හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් පූර්ණ සුවය ලැබිය හැකි බවත්, ඒ සඳහා වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමේ අවශ්‍යතාවයත් ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ අනුව ඔක්තෝබර් මාසයට පමණක් සීමා නොවී මේ පිළිබඳව දැනුවත් වෙමින් මෙම සමාජ ව්‍යසනය තුරන් කිරීමේ වගකීම කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයට ද ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. මේ පිළිබඳව මෙරට පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කොට ඇති බවත් ‘රෝස බදාදා’ නමින් විවිධ පාර්ශවවල සංවිධාන ශක්තියෙන් වැඩසටහන් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය.
එසේම පාර්ලිමේන්තුවේ මෙම වැඩසටහනට සමගාමීව සියලුම පාසැල්වල උදය රැස්වීමේදී පාසැල් ළමුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියලු විදුහල්පතිවරු දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංසදය විසින් ලිඛිතව දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම වැඩසටහනට සහභාගී වී ඇත.