ලොකු පැටීගේ මුදල් පාලනය කළ කපු මහතා රිමාන්ඩ්

ලොකු පැටීගේ මුදල් පාලනය කළ කපු මහතා රිමාන්ඩ්

October 22, 2025   04:18 pm

'ලොකු පැටී' නම් අපරාධකරුට ආධාර අනුබල දුන් චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ගන්දර ප්‍රදේශයේ කපු මහතා එළැඹෙන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 'ලොකු පැටී'ගේ මුදල් පාලන කටයුතු මෙම කපු මහතා විසින් සිදුකර ඇති බව වාර්තා වේ.

ඔහු පසුගිය 16වනදා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිනේෂ් කුමාර නමැති කපු මහතෙකු බව කියන අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදුකළ බව පැවසීය.

මෙම සැකකරුගේ රුපියල් කෝටි 33කට අධික මුදල් ඇතුළත් ගිණුම් හමුවී තිබෙන බවත්, එම මුදල් උපයාගත් ආකාරය මෙම සැකකරුට පැහැදිළි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් පොලීසිය පවසා ඇත.

කෙසේ වෙතත් මෙම සැකකරු කුමන පනතක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ දැයි අද ඉදිරිපත් කළ වාර්තාවේ පැහැදිළිව සඳහන් කර නොමැති බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා, මෙම නඩුව ලබන 24 වනදා යළි කැඳවන ලෙස නියම කළේය.

එදින මෙම සැකකරුට ඉදිරිපත් කරන චෝදනා මොනවාද? යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරනු ලැබීය.