විමල්ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින නියම වෙයි

විමල්ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින නියම වෙයි

October 22, 2025   03:14 pm

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (22) දින නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් 18වනදා සහ ජනවාරි 20වනදා යන දිනවල විභාගයට ගැනීමට විනිසුරුවරයා දින නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල මේ වනවිට ලබාදී තිබෙන බව සඳහන් කළේය.

අදාළ ලේඛන පරීක්ෂාවට ලක්කළ යුතු බව සඳහන් කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා විනිසුරුවරයා දින නියම කළේය.

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.