කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

August 27, 2025   10:12 am

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී ජූනි මස 30 දින පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (26) පැල්වාඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 28ක රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මේ අතර, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල පොලිස් වසමේ දුම්රියපොළ පාර ප්‍රදේශයේදී ජූලි 18 වන දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව ලද තොරතුරක් මත ඊයේ උදෑසන බොරලැස්ගමුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 20ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට අනුබල දුන් සැකකාරියක්ද දෙල්ගහවත්ත, හල්පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 23ක පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 38ක කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකාරියකි.