දුම්රිය ස්ථානාධිපති ධුරය කාන්තාවන්ටත් ඉල්ලා යොමුකළ පෙත්සමට අධිකරණයේ තීරණය

දුම්රිය ස්ථානාධිපති ධුරය කාන්තාවන්ටත් ඉල්ලා යොමුකළ පෙත්සමට අධිකරණයේ තීරණය

August 27, 2025   07:46 pm

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඊට පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදුෂා යන කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම්දීම සිදුකරනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව සඳහන් කළේය.

එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙසත් රජයේ නීතිඥවරිය ඉල්ලා සිටි අතර, ඒ අනුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

පෙත්සම්කාරියන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරු බඳවා ගැනීම සඳහා ඉකුත්දා, නිකුත් කරන ලද ගැසට් නිවේදනය තුළින් අදාළ තනතුර සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවය.

සුදුසුකම්ලත් කාන්තාවන්ට එම තනතුරු සඳහා අයදුම් කිරීමට සහ තේරීපත්වීමට තිබෙන අවස්ථාව මේ තුළින් අහිමිකර තිබෙන බවට ඔවුන් චෝදනා කළේය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, කාන්තාවන්ටද අයදුම් කළ හැකිවන පරිදි අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙස වගඋත්තරකාර දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටී.