දැදුරුඔය වැලි ජාවාරම
July 28, 2025 10:20 pm
දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි.
උකුස්සාගේ අද අනාවරණය දැදුරු ඔයේ සිදුවන එම අනීතික වැලි ජාවාරමක් පිළිබඳවයි.
ශ්රී ලංකාවේ 6 වැනි දිගම ගංගාව වන දැදුරු ඔය කුරුණෑගල රස්නායකපුර, බටුවැව ඇතුළු ප්රදේශ කිහිපයක් ඔස්සේ දිස්ත්රික්ක පහක් මාඉම් කරගනිමින් ගලායන්නේ එහි දෙපස සශ්රීක තැනිතලා බවට පත්කරමින්ය.
එහෙත් දැදුරු ඔය ඇතැම් ස්ථාන කලක් තිස්සේ නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන්ගේ තිප්පළක් වී තිබේ.
කුරුණෑගල පොලිස් නිලධාරින් සහ ජාවාරම්කරුවන් පිරිසක් අතර 2016 වසරේ ඇති වූ ගැටුමක් අධිකරනය දක්වා දුරදිග ගිය අතර එහි ප්රතිඵලයක් ලෙස 2019 වසරේදී කුරුණෑගල මහාධිකරණය දැදුරු ඔය ආශ්රිත ප්රදේශයේ වැලි කැණීම් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.
කෙසේවෙතත් දැදුරු ඔයේ සිදුකෙරෙන වැලි කැණීම් පිළිබඳව අවස්ථා ගණනාවකදී අද දෙරණ උකුස්සාට තොරතුරු ලැබුණු අතර ඒ අනුව පසුගියදා අප කුරුණෑගල බටුවැව ප්රදේශයේ ස්ථානයට ගියේ එය සැකහැර දැනගැනීම සඳහාය.
පිරිසක් වැලි කැණීමෙහි නිරත වී සිටින අයුරු අප එහි එක් ඉවුරක සිට නිරීක්ෂණය කළේය.
ඒ අනුව වහාම ක්රියාත්මක වූ අද දෙරණ උකුස්සා වැල්ලව පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් දැනුම් දී එම ස්ථානයට විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළ ළඟාවන විටත් එම පිරිස කඩිනමින් එතැනින් පලායාමට කටයුතු කර තිබුණි.
ප්රදේශයේ විශාල පිරිසත් භීතියට පත්කරමින් ක්රියාත්මක වෙන මෙම ජාවාරම්කරුවන්ට තොරතුරු ලබාදීමටත් ඕනෑ තරම් පිරිස් මෙහි සිටින බවයි පොලිසිය සඳහන් කළේය.
කෙසේවෙතත් වැලි කැණීම් සිදුකිරීම සඳහා යොදාගත් උපකරණ රැසක්ම එම ස්ථානයේ හැරදමා ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.
ඒ අනුව එම උපකරණ සියල්ල විනාශ කිරීමට වැල්ලව පොලිස් ස්ථානයේ නිලධාරින් කටයුතු කළේය.
ජාවාරම් සිදුකිරීම සේම ජාවාරම් සඳහා ආධාර අනුබල දීමත්, උපකාර කිරීමත් දණ්ඩ නීති සංග්රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් වෙයි.
එසේම අධිකරණ නීති උල්ලංඝනය කිරීමද බරපතළ වරදකි.
ඒ අනුව අද දෙරණ උකුස්සා කළ හෙළිදරව්ව අනුව මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් දැන් ක්රියාත්මකයි.
ජාවාරම්කරුවන් හසුකරගන්නා තුරු අද දෙරණ උකුස්සා විමසිල්ලෙන්.