අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

July 25, 2025   04:54 pm

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් කිහිප දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා මත සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියම කළේය.

ඒ මෙම නඩුව අද (25) මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් 2025 මැයි 16 දින අගවිනිසුරුවරියගේ නියමයෙන් මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කර ඇති බව සඳහන් කළේය.

මෙම නඩුවේ පූර්වගාමී විනිසුරුවරු ඉදිරියේ කැඳවනු ලැබු සාක්ෂි ඒ ආකාරයෙන්ම පිළිගැනීමට විත්ති පාර්ශ්වය විරුද්ධත්වයක් දක්වා නොමැති බවත් විනිසුරුවරයා කියා සිටියේය.

නව විනිසුරු මඩුල්ලට මෙම නඩුකරය ගැන අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව නඩු තීන්දුව සැප්තැම්බර් 29 ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.