
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින The Resistance Front (TRF) කණ්ඩායම විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් සහ විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණයට ඉන්දීය රජය ස්තූතිය පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ කැපවීම අගය කරන බවද ඉන්දියාව පවසයි.
පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්ත සංවිධානයක් වන ලෂ්කර්-ඊ-තායිබා (LeT) කණ්ඩායමේ ශාඛාවක් වන TRF, 2025 අප්‍රේල් 22 වන දින ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිවිල් වැසියන්ට එල්ලවූ දරුණු ප්‍රහාරය ඇතුළුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් රාශියකට සම්බන්ධවී ඇති බව ඉන්දියාව පවසයි.
ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහ ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීමේදී ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය ඉන්දියාව නිරන්තරයෙන් අවධාරණය කරන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ තීරණය අගය කළ ඉන්දියාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එය දෙරට අතර ගැඹුරු සහයෝගීතාවය පිළිබිඹු කරන කාලෝචිත හා වැදගත් පියවරක් බවත්ය.

















































