සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ සූදානමක් 

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ සූදානමක් 

March 13, 2026   07:29 pm

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉදිරියේදී ලිහිල් කිරීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහවැලි ජල කලමනාකරණ කමිටුව අද (13) රැස්වූ අවස්ථාවේදීය. 

මෙරට බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණක් රට තුළ නිෂ්පාදනය කර බවත් සෙසු තොග ආනයනය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

කෙසේවෙතත් මෙරට තුළ බඩඉරිඟු නිෂ්පාදන ඉහළ දැමීමට ප්‍රමාණවත් වගා බිම් නොමැතිවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළ යුතු බව කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේය. 

මේ සඳහා කුඹුරු ඉඩම් වැඩි කිරීමට අපේක්ෂා නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයට අනුව වගා කටයුතුවල නිරත වන ලෙසත් ඒ මහතා එහිදී ගොවීන්ගේ ඉල්ලා සිටියේය. 

"වී ටික එකපාර වෙළඳපොළට එනවා වෙනුවට සතියක් දෙකක් තියාගන්න පුළුවන් වෙන තත්ත්වයට ගොවිජනතාව අරන් එන එක අපේ ඉලක්කයක්. වී වේලීම සහ ගබඩා කිරීමට අපිට ක්‍රමයක් සකස් කරගන්නම වෙනවා. ගොවියාගේ කාර්යය ගොයම් කපලා දුන්නම අවසන් වෙනවා. එතනට තව කෑලි දෙකක් එකතු වෙන්න ඕනේ. වී වේලීම සහ ගබඩා කිරීම කියන කෑලි දෙකත් එතනට එකතු වෙන්න ඕනේ. ඒ සඳහා අපි වැඩසටහනකට යමින් ඉන්නේ. 

අපිට තියෙනවා ප්‍රධාන කාරණා දෙකක්. එකක් ගොවිජනතාවගේ ජීවිතය නඟා සිටුවන එක. අනික ආහාර සුරක්ෂිතතාවය. සාධාරණ ලාභයක් ගොවියාට දෙන්නේ නැත්නම් ගොවිතැන කරන්න බැහැ. අපි වී මිල ගැසට් කරලා නීතියක් කරලා නැහැ. අපේ අරමුණ පෞද්ගලික අංශය වී අඩුවට ගන්න එක වැළැක්වීම. වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීම මදි කියන කාරණය අපි පිළිගන්නවා. ගබඩා ප්‍රශ්න, කාර්ය මණ්ඩල ප්‍රශ්න තියෙනවා. 

අපි බය වුණා දිට්වා එක්ක කෘෂිකර්මාන්තය ගොඩගන්න යම් කාලයක් යයි ද කියලා. නමුත් අපි වන්දි ගෙවලා නැවත වගා කරන්න පටන්ගත්තා. ඒකට අපි ගොවි මහතුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒවගේම ගොවීන් එක්ක වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.  අපිට කීරි සම්බා පිටරටින් ගේන්න වෙනවා. ඒ නිසා අපි ගොවීන්ගෙන් ඉල්ලනවා කීරි සම්බා වැඩියෙන් වගාකරන්න."