නව විෂය නිර්දේශයෙන් ඉතිහාසය සහ සෞන්දර්යය විෂයන් හැලිලා ද ?
July 17, 2025 03:23 pm
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් හා කලාප නිලධාරීන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර නොමැති බවය.
2026 වසරේ සිට පාසල්වල කාලපරිච්ඡේද සංඛ්‍යාව අටේ සිට හත දක්වා අඩු කිරීමත්, එක් කාලපරිච්ඡේදයක කාලය මිනිත්තු 50 දක්වා වැඩිකිරීමත් ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය,
"අපි මේක හැදුවෙම තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ළමයෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. එතකදී අපි අනිවාර්යයෙන් සාකච්ඡා කරපු දෙයක් තමයි ඉතිහාසය හා සෞන්දර්යය කියන විෂයන් දෙක හරිම වැදගත් කියන එක. stem subjectවලට යන දරුවෙක්ට වුණත් ඉතිහාසය හා සෞන්දර්යය තෝර ගන්න වෙනවා. කළමනාකරණය තෝර ගන්න ළමයාටත් ඉතිහාසය සෞන්දර්යය අනිවාර්යයි. skills sector එකේ යන ළමයට වුණත් ඉතිහාසය සහ සෞන්දර්යය අනිවාර්යයි. හරිම අවාසනාවන්ත විදියට මේ මුළු කතන්දරය කියන්නේ නැතුව අර මැද්දේ තියෙන එක විතරක් දාලා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය මාලාවෙන් හලලා කියලා ඉතාම අසත්‍ය මතයක් සමාජයේ තුළ ගොඩනගන්න හදනවා. මේක ඕනෑකමින් මේක කඩාකප්පල් කරනවා. ඒක හරිම වැරදියි. අපි දේශපාලනය කරමු. අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය ගාව ගන්න එපා. ඉතිහාසය සහ සෞන්දර්යය කොහෙන්වත් අපි හලලා නෑ"
මේ අතර අද (17) 2026 දී සිදුකිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කලාප හා පළාත් නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ජාවකට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මෙලෙස අදහස් පළ කළේය.
"මාධ්‍යයෙන් මේකෙ පළ වන අදහස් සමඟ ලොකු කතාබහක් සමාජයේ ඇති වෙමින් පවතිනවා. හැබැයි අපි ඉල්ලන්නේ ඒ සමාජය තුළ ඇතිවන කතාබහේදී මේ යෝජනාවල් සම්පූර්ණයෙන්ම අධ්‍යනය කරලා, ඒකෙ එක කොනකින් අල්ල ගන්නේ නැතුව, ඒකෙ තියෙන සමස්තය දිහා බලලා කතා කරන්න කියලා."
කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ගුරු විදුහල්පති සංගම්වලින් එල්ලවන්නේ දැඩි විරෝධයකි.
මේ පිළිබඳ අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ, ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්,
"අපි දකිනවා මේ ආණ්ඩුවේ ඡනාධිපතිවරයා අගමැති ඇමතිවරු කවුරුත් කතා කරන්නේ මේ අධ්‍යාපනයේ පරිවර්තනයක් ගැන. නමුත් කරන පරිවර්තනේ මොකක්ද කියලා කවුරුත් කියන්නේ නෑ. විභාග ක්‍රමය ගැන තීරණයක් ගන්නවා කිව්වා. විෂය මාලාව වෙනස් කිරීම ගැන තීරණයක් ගන්නවා කිව්වා. ඒ වගේම අධ්‍යාපනයේ බර අඩු කිරීම ගැන තීරණයක් ගන්නවා කිව්වා. මේ වෙනසක් තුළ මේවා අවශ්‍යයි. අද මේ ආණ්ඩුව ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන්නේ ඡාතික අධ්‍යාපන ආයතනයත් එක්ක ඒවායේ සුදුසුකම් තියෙන අයද ඉන්නේ ? ඒවායේ ඉන්න අයට මේවා කරන්න බෑ. ඒ නිසා අපිි ආණ්ඩුවට කියන්නේ වහාම වැඩපිළිවෙලක් එක්ක මේ ක්‍රියාමාර්ගයට යන්න."