බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්

බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්

July 16, 2025   10:06 pm

ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට විස්සයි20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.

ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20යි 20 තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමඟය.

කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද (16) තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදුකරමින් තරගයට පිවිසුණි.

එහිදි පසුගිය තරග දෙකේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට අද තරගය අහිමි වෙද්දී කලකට පසුව දිනේෂ් චන්දිමාල්ට සහ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ඇරඹුවේ පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස්ය.

එහිදී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 6කට දැවීගියේය.

මෙම තරගයේදී යළි අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවීගියේය.

වසර තුනහාමාරකට පසුව ජාත්‍යන්තර 20යි 20 තරගයක් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමි වූ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 4කට සීමා වෙද්දී නායක චරිත් අසලංක ලකුණු 3කට දැවීගියේය.

එක් අන්තයක සිට හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක ලකුණු 46ක් රැස් කළේය.

කෙසේ වෙතත් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක්කළ දසුන් ශානක අවසාන භාගයේදී සුපිරි පිතිහරඹයක නියැලෙමින් ශ්‍රී ලංකාවට වාසිදායක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලෙස සටහන් වුණි.

දසුන් ශානක නොදැවී ලකුණු 35යි.

ලකුණු 133ක ඉලක්කයක් හඹායාම සඳහා බංග්ලාදේශ ඉනිම හුසේන් ඉමෝන් සහ ටැන්සිඩ් හසන් ආරම්භ කළේය.

කෙසේ වෙතත් නුවන් තුෂාර යොමුකළ පළමු පන්දුවෙන්ම හුසේන් ඉමෝන්ව දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුනි.

කෙසේ වෙතත් දෙවැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැගු නායක ලිටන් දාස් සහ ටැන්සිඩ් හසන් ශ්‍රි ලංකා කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගත්තේය.

ලිටන් දාස් ලකුණු 32ක් රැස්කළේය.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තේය.

ඒ අනුව කඩුලු 8කින් තරගය ජයගත් බංග්ලාදේශය 20යි 20 තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයගැනීමට සමත් වුණි.