බූස්ස බන්ධනාගාරයේ කටයුතුවලින් STF නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්
July 17, 2025 01:58 pm
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම අද (17) සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූහ.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත් එහි අභ්‍යන්තර හා බාහිර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවාගෙන තිබෙන බවත් චෝදනා කළේය.
අදාල බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙන්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් බවත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බන්ධනාගාර පනත යටතේ බලය නොමැති බවත් නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.
එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ විෂය භාර අමාත්‍යවරයාට පමණක් යැයි පෙන්වා දුන් එම නීතිඥවරයා බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පැවසුවේය.
බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ යුතු වුවත් බන්ධනාගාරය තුළ පරීක්ෂා කිරීම්, වැටලීම් ආදී කටයුතු සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගෙනෙන අතර ඔවුන් අතින් රඳවියන් දැඩි අමානුෂික සැලකීම්වලට භාජනය වන බවද නීතිඥවරයා චෝදනා කර සිටියේය.
ඒ අනුව අදාල බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසය.
බන්ධනාගාර පනතේ 77(5) වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර කටයුතු සඳහා පොලිස් නිලධාරින්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද පොලිස් දෙපාර්තමේන්තුවේ අංශයක් බැවින් ඔවුන් එම කටයුතුවලට භාවිත කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම පෙත්සම්කරු භාරයේ තිබී දුරකථනයක් සොයා ගැනුණු අතර බන්ධනාගාර තුළ පවතින තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද යොදවා තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය භාවිතා කරමින් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගෙන ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා බූස්ස බන්ධනාගාරය තුළ නිදහසේ දුරකථන භාවිතා කරමින් එය අපරාධ මෙහෙයවන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවටත් චෝදනා කළේය.
පෙත්සම්කරු පිරිසිදු දෑත්වලින් මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් එය විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා අගෝස්තු මස 25 වනදාට පෙර ගොනු කරන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.
ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය සහ පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු සහන ඉල්ලීම් පිළිබඳ නියෝග සැප්තැම්බර් මස 01 ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කර සිටියේය.