ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගෙන් පොරොන්දුවක්
July 16, 2025 03:02 pm
ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහයකයා ලෙසද කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (16) දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති උත්සවයක් අමතමින්ය.
2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දී අවසන් බව නිල වශයෙන් දැනුම් දීමේ අවස්ථාව අද පැවැත්වුණි.
ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද සහභාගී වී සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා,
"ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය ඔබේ විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහායකයා ලෙසද කටයුතු කරනවා. දරුවන් යනු මේ රටේ අනාගතය පමණක් නොව චීන ශ්‍රී ලංකා මිතුදමේ උරුමක්කාරයන්.
ඔවුන්ගේ නිල ඇඳුමේ ඇති සෑම මැහුමකින්ම අපේ පැරණි ශිෂ්ටාචාර දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ කතාව කියනු ඇත.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන දායකත්වය සහ කැපකිරීම් මම ඉතාමත් අගය කොට සලකනවා. "
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපනය, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින්නේ සහයෝගීතාවයෙන් යුත් දිගු කාලීන මිත්‍රත්වයක්. අපේ රටේ පාසල් දරුවන්ට ලබා දුන් මෙම නිල ඇඳුම් ප්රදානය ද මෙම දීර්ඝ කාලීන මිතුදමේ එක් පියවරක්.
2023 සහ 2024 වර්ෂවල චීන රජය පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අපගේ ජාතික අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් ලබා දී ඇති අතර, 2025 වර්ෂයේ සම්පුර්ණ නිල ඇඳුම් අවශ්‍යතාවයම අප රටේ දරුවන්ට ලබා දී තියෙනවා.
ශ්‍රී ලංකාවට අතිශයින් දුෂ්කර කාලයකදී අප රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් චීන රජයෙන් ලබා දුන් මෙම පරිත්‍යාගය අපට බොහොම වටිනවා. 2026 වසර සදහා ද , චීන රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන ලෙස අප රජය දැනටමත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම අපේ රටේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට මාගේ ස්තූතිය පුද කරනවා"