ඉන්දියාවේ පළමු Tesla ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ
July 16, 2025 02:58 pm
ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ විද්‍යුත් මෝටර් රථ ඉන්දියාවේ නිල වශයෙන් දියත් කිරීම මුම්බායිහිදී ඊයේ (15) සිදුවුණි.
ඒ සඳහා පළමු ටෙස්ලා ප්‍රදර්ශනය මුම්බායිහිදී විවෘත කෙරුණේ ඉන්දීය වෙළෙඳපොළට පිවිසීම සඳහා ඊලොන් මස්ක් තුළ දිගු කලක් තිස්සේ පැවති සිහිනයක් සැබෑ කරමිනි.
වරක් ඔහු ඉන්දියාවේ ටෙස්ලා නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමටත් සැලසුම් කළේය.
ටෙස්ලා Y මොඩලය ඉන්දීය වෙළඳපොළට හඳුන්වාදී තිබෙන්නේ ඉන්දීය රුපියල් මිලියන 6ක මිලකට.
නැත්නම් අමෙරිකානු ඩොලර් 70,000ක පමණ මිලකට.
එහි දිගුදුර මාදිලියLONG RANGE, REAR WHEEL ඉන්දීය රුපියල් මිලියන 6.8කටයි මිල කර තිබේ.
තීරුබදු එකඟතාවක් තවමත් ඇති වී නොමැති නිසා ටෙස්ලා මෝටර් රථ දැනට ඉන්දියාව ආනයනය කෙරෙන්නේ 100% ඉක්මවන තීරුබදු සමඟය.
මෙම තීරුබදු සහ රජයේ අනෙකුත් බදු ද මෝටර් රථයේ අලෙවි මිලට එකතු වේ.
ටෙස්ලා මුම්බායි ප්‍රදර්ශනාගාරය විවෘත කෙරුණේ චීනයෙන් ගෙන්වූ ටෙස්ලා Y මාදිලියේ මෝටර් රථ දෙකක් හා ටෙස්ලා සුපර් චාජරයක් සමඟිනි.
ටෙස්ලා මිල ගණන් හා විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.
අලෙවිය සඳහා මෝටර් රථ මේ කාර්තුව තුළ ගෙන්වීමට කටයුතු යොදා ඇත.
අනෙකුත් ප්‍රධානපෙළේ මෝටර් රථ වෙළඳපොළ හා සැසඳූවිට ඉන්දියාවේ විද්‍යුත් වාහන ප්‍රතිශතය 4%ක් පමණය.
ඉන්දියාව ලෝකයේ තුන්වැනි විශාලතම මෝටර් රථ වෙළඳපොළ වුණත් විද්‍යුත් වාහන සම්බන්ධයෙන් පවතින්නේ එවැනි තත්ත්වයකි.
ඒ වගේම ටෙස්ලා, විද්‍යුත් මෝටර් රථවලට දැනටමත් ඉන්දීය වෙළෙඳපොළේ අලෙවිවන ජර්මනියේ සුඛෝපභෝගී සන්නාමයන් වන BMW සහ මර්සිඩීස් බෙන්ස් මෙන්ම දකුණු කොරියාවේ කියා (KIA) විද්‍යුත් මෝටර් රථ සමගත් තරග කරන්න සිදුවේ.
ඒ වගේම ඉන්දීය මෝටර් රථ නිෂ්පාදකයන් වන ටාටා මෝටර්ස් සහ මහින්ද්‍රා ද ඔවුන්ගේ විද්‍යුත් මෝටර් රථ දැන් දේශීය වෙළෙඳපොළට ඉදිරිපත් කරයි.
ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ ඉන්දීය වෙළඳපොළට පිවිසෙන්නේ ගෝලීය වශයෙන් ටෙස්ලා වාහන අලෙවියේ පහත වැටීමක් වාර්තා වනවිට මේ වසරේ දෙවැනි කාර්තුවේදී ටෙස්ලා වාහන 3,84,122ක් අලෙවි කළත් එය පසුගිය වසරට සාපේක්ෂව මෝටර් රථ 60,000ක අලෙවියේ පහත වැටීමකි.
ප්‍රතිශයත් විදියට ගත්තොත් එය 13.5%ක පහත වැටීමක් විදියට හැඳින්විය හැකිය.
මේ අලෙවියේ පහත වැටීමට ඊලොන් මස්ක් ට්‍රම්ප් පරිපාලනය සමග එක්වීම සහ වෙන්වීම නිසා ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානියක් බලපා ඇති බව නොරහසකි.
අනෙක් අතින් මේ වසරේ පළමු අර්ධයේදී ටෙස්ලා වාහන 7,21,000ක් අලෙවි වද්දී, චීනයේ BYD නිවේදනය කළේ තමන් වාහන මිලියනයක් අලෙවිකර අවසන් කළ බවය.
ටෙස්ලා තමන්ගේ පළමු වාර්ෂික අලෙවි අපගමනය වාර්තා කළේ පසුගිය වසරේදීය.
මෙවැනි වාතාවරණයක් තුළ ටෙස්ලා සමාගමට ඉන්දීය වෙළඳපොළට පිවිසීම විශේෂයෙන් වැදගත් වේ.