පෘථිවිය මත හමු වූ විශාලම අඟහරු පාෂාණය වෙන්දේසි කෙරේ

පෘථිවිය මත හමු වූ විශාලම අඟහරු පාෂාණය වෙන්දේසි කෙරේ

July 14, 2025   10:46 am

දැනට පෘථිවිය මත හමුවී ඇති විශාලම අඟහරු පාෂාණය වෙන්දේසියේ විකිණිමට සුප්‍රසිද්ධ සදබීස් වෙන්දේසි සමාගම තීරණය කර තිබේ.

එය අමෙරිකානු ඩොලර් මිලියන 2ත් 4ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

පෘථිවිතලය මෙන්ම එහි අභ්‍යන්තරයද විවිධ ස්වභාවික පාෂාණවලින් සමන්විත වේ. 

නමුත් අප ජීවත් වන මේ ග්‍රහලෝකය තුළ අපට හමුවන්නේ පෘථිවියට අයත් පාෂාණ පමණක්ම නොවන බව පැවසුවහොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්.

අඟහරු පාෂාණ කියන්නේ එවැනිම ආකාරයේ පෘථිවියට අයත් නැති, නමුත් පෘථිවිය තුළ හමුවන වටිනාකමින් ඉතා ඉහළ පාෂාණ විශේෂයකි. 

එම පාෂාණ පෘථිවිය වෙත පැමිණෙන්නේ රතු ග්‍රහයා හෙවත් අඟහරැ ග්‍රහයාගේ සිටය.

අඟහරුගේ මතුපිට ග්‍රාහකයක් වැනි යමක් ගැටීමෙන් ඇතිවන පිපිරුමකින් නිකුත් වන ග්‍රාහක කොටස් අභ්‍යවකාශය ඔස්සේ සැතපුම් මිලියන ගණනක් ගමන් කිරීමෙන් අනතුරුව පෘථිවිය වෙත ළඟාවීම සිදුවේ.

මෙලෙස අභ්‍යවකාශයට ඇතුළුවන බොහෝ පාෂාණ කොටස් එහිදී ගිනිගෙන විනාශවන අතර ප්‍රමාණයෙන් විශාල ඉතාම සීමිත කොටස් කිහිපයක් පමණක් පෘථිවිය තෙක් පැමිණීමට සමත් වන බව විද්‍යාඥයින් පවසයි.

දැනට පෘථිවිය මත හමුවී ඇති විශාලම අඟහරු පාෂාණය වන්නේ NWA 16,788 නම් පාෂාණයයි. 

එය රාත්තල් 54ක් හෙවත් කිලෝග්‍රෑම් 25කට ආසන්න බරකින් සමන්විත වේ.

එය සොයාගනු ලැබුවේ 2023 වසරේ නොවැම්බර් 16 වැනිදා අප්‍රිකානු රාජ්‍යක් වන නයිජර් හී ඈත පිටිසර ගම්මානයක් ආශ්‍රිත ප්‍රදේශයකිනි.

පෘථිවිය ළඟාවීමට මෙම අඟහරු පාෂාණය ගමන් කර ඇති දුර ප්‍රමාණය සැතපුම් මිලියන 140ක් බව සඳහන් වේ.

මෙම විශාලතම අඟහරු පාෂාණය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන සදබීස් සමාගම තීරණය කර තිබේ.

මේ වෙන්දේසිය පැවැත්වෙන්නේ ජූලි 16 වැනිදා අමෙරිකාවේ නිව්යෝක් නුවරදීය.

අමෙරිකානු ඩොලර් මිලියන 2ත් 4ත් අතර මුදලකට එය වෙන්දේසි කිරීමට එම සමාගම බලාපොරොත්තු වේ.

දුර්ලභ අඟහරු පාෂාණයක් හිමිකරුවීමට කැමති ඕනෑම අයෙකුට මෙය කදිම අවස්ථාවක් බව සදබීස් සමාගම පවසයි.