කුරුණෑගල ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කුරුණෑගල ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

June 30, 2025   02:57 pm

මහව දියබැටේ කැළෑබද ප්‍රදේශයක දී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, පසුගිය ජුනි 26 වන දින දහවල් මහව, දියබැටේ කැළෑබඳ ප්‍රදේශයක කාර් රථයක් තුළ පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ බවය.

ඒ අනුව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව මියගිය පුද්ගලයා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහු සන්තකයේ තිබූ රන් භාණ්ඩ, ජංගම දුරකථනය හා මුදල් රැගෙන පලාගොස් ඇතැයි අනාවරණය වී ඇත.

රුපියල් ලක්ෂ 14කට වැඩි මුදල් ප්‍රමාණයක් ද ,ලක්ෂ 48ක් පමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ සමග ඊයේ (29) දොරටියාව සහ මහව ප්‍රදේශයේ සිටිය දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 19 සහ 27 යන වයස්වල පසු වන මහව සහ පිලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පිළිස්සී මියගිය ව්‍යාපාරිකයා ගෙල සිරකර ඝාතනය කර පුළුස්සා ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබුණි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කුරුණෑගල, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

කැළැබද ස්ථානයක වාහනයක් තුළ පුද්ගලයෙකු පිළිස්සී මියගොස් ඇති බවට හව පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී තිබූ අතර, එහි ගිය පොලිස් නිලධාරීන්ට ජීප් රථයක ඉදිරිපස අසුනේ තිබී පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබුණි.

එම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිය විසින් පසුගිය 25වැනිදා දොරටියාව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණි.

ඔහුගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ඔහු තම කොණ්ඩය කපන්නට බව පවසා එදින නිවසින් බැහැරට ගොස් ඇති බවය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මහව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.