දේශබන්දු සම්බන්ධව පවත්වන විමර්ශන කමිටුව 11 වැනි දිනටත්
June 24, 2025 08:15 pm
ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කමිටුව අද (24) 11 වැනි දිනටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.
අද දින කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන්නේ වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාය.
මොහු කොළඹ අපරාධ කොට්ඨාසයේ වෑන් රථය පිටතට යැවීම සඳහා අනුමැතිය දීම සඳහා නිර්දේශ කළ නිලධාරියා මෙන්ම මෙම වෙඩි තැබීමේ සිද්ධියේදි මියගිය උපුල් නමැති නිලධාරියාට වන්දි ලබාදීමේ කමිටුවේ සභාපති ලෙසද කටයුතු කර තිබේ.
සාක්ෂි විමසිම ආරම්භ කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනි සිටින නීතිඥ සංජීව වීරවික්රම මහතා සාමාන්‍ය ප්‍රශ්න කිරිම් සිදුකළ අතර අනතුරුව කමිටුවේ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ද ප්‍රශ්න රැසක් විමසා සිටියේය.
එලෙස විමසු බොහෝ ප්‍රශ්න සඳහා සාක්ෂිකරු ''මම දන්නේ නැහැ, මට මතක නැහැ.'' යනුවෙන් පිළිතුරු ලබාදීම සම්බන්ධයෙන් කමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය.
කමිටුව හමුවේ මෙම පොලිස් නිලධාරියා නිරන්තරයෙන්ම දැරුවේ W15 වෙඩි තැබීමට අදාළව මියගිය හා තුවාල ලැබූ නිලධාරීන් වෙඩි ප්‍රහාරයට ලක්වුනේ තුන්වැනි පාර්ශ්වයක් විසින් එල්ල කළ වෙඩි පහරකින් යන මතයය.
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා හරස් ප්‍රශ්න විමසිම ආරම්භ කළේය.
එහිදි දිලීප පිරිස් මහතා ප්‍රශ්න කිරිම් ආරම්භ කළේ , '' මොකද නියෝජ්‍ය පොලිස්පතිතුමා ඔබතුමාගේ කකුල වෙව්ලන්නේ, ඔබතුමාට අසනීපයක්ද?'' යනුවෙන් අසමිනි.
''නැහැ ස්වාමීනි මම මේ වගේ කොමිසමක පළවෙනි වතාවටයි සාක්ෂි ලබාදෙන්නේ. මට පුරුදු නැහැ මේක"' යනුවෙන් පොලිස් නිලධාරියා එහිදි ප්‍රකාශ කර තිබේ.
ඔබගේ මතය තවමත් නාඳුනන වෙඩික්කුරුවෙක් විසින් මෙම වෙඩි තැබිම සිදු කළා යන්න දැයි දිලිප පිරිස් මහතා විමසා ඇත.
''ඔව් මම ඒ මතයේ තමයි ඉන්නේ '' යනුවෙන් පොලිස් නිලධාරියා ප්‍රකාශ කර ඇත.
එහිදි සාමාජික විනිසුරුවරු ප්‍රශ්න කර සිටියේ ඔබ මෙම සිද්ධිය වු පසු ඒ ගැන මුලින්ම දැනුවත් වුණේ කීයටද? යන්නය.
'' මට වෙලාවක් මතක නැහැ. 2023.12.31 වැනි දා උදෑසන 9.30ත් 10ත් අතර වෙලාවේ තමයි මම දැනුවත් වුණේ '' යනුවෙන් පොලිස් නිලධාරියා කමිටුව හමුවේ පැවසීය.
ඒ කාගෙන්දැයි විමසු අවස්ථාවේදි ඔහු ප්‍රකාශ කළේ ''CCD එකේ එවක වැඩබලන අධ්යක්ෂ නෙවිල් සිල්වා තමයි මට දුරකථනයෙන් කතා කරලා කිව්වේ. මම ඒ වෙලාවේ කාර්යාලයේ සිටියේ'' යනුවෙනි.
ඔබ ඒ පිළිබඳ දැනගත් පසු එවක වැඩබලන පොලිස්පතිට දැනුම් දුන්නද? යනුවෙන් විමසු අවස්ථාවේදි ඔහු පැවසුවේ තමා ඔහුට කතා කර ඒ පිළිබඳ දැනුම් දුන් බවයි.
කෙසේ වෙතත් දිගින් දිගටම සිදුවූ සාක්ෂි විමසීම් අතරතුර ඔහු පරස්පර විරෝධී පිළිතුර ලබාදිමත් සමග සභාපති විනිසුරුවරයා අසත්‍ය තොරතුරු නොපවසන ලෙස ඔහුට දැඩි ලෙස අවවාද කළේය.
''ඔබ නිවැරදි පිළිතුරු දෙන්නේත් නැහැ. ඔබ වගේ නිලධාරින් තමයි පොලිස් දෙපාර්තමේන්තුව අපකිර්තියට පත් කරන්නේ. ඔබ ලැජ්ජා වෙන්නත් ඕනේ මේ වගේ පිළිතුරු දිලා පොලිස් නිලඇඳුම ඇඳගෙන ඉන්න'' යනුවෙන් එහිදි සභාපති විනිසුරුවරයා පැවසුවේය.
අනතුරව දිලිප පිරිස් මහතා මේ W15 වෙඩි තැබිමට අදාළව වැලිගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සිදු කළ පොලිස් විමර්ශන වාර්තාව සාක්ෂිකරුට ඇසෙන සේ කියවනු ලැබීය.
එහි වෙඩි තැබීම සිදු කළේ කවුද යන්න සඳහන් කොටස ද දිලිප පිරිස් මහතා විසින් කියවනු ලැබීය.
එහිදි සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ''ඔබ දැන්ද දැනගත්තේ වැලිගම පොලිසියේ ඡංගම රථයේ සිටි නිලධාරින් කළ වෙඩි පහරින් තමයි උපුල් කියන නිලධාරියා මියගියේ කියලා''.
''ඔව් මම දැන් තමයි දැනගත්තේ ස්වාමිනි'' යනුවෙන් සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය.
සභාපති විනිසුරුවරයා එහිදී විමසා සිටියේ ''මේ ගැන ඔබ කලින් දන්නේ නැති එක ගැන ඔබට පුදුමයක් නැද්ද?'' යනුවෙනි.
''මම දන්නේ නැහැ ස්වාමිනි'' යනුවෙන් සාක්ෂිකරු ඊටද පිළිතුරු ලබාදුන්නේය.
ඔබ මියගිය උපුල් කියන නිලධාරියාගේ මළ ගෙදර ගියා නේද? ඒත් ඔබ අද වෙනකම් වෙඩි තිබ්බේ කවුද කියලා දැනගෙන හිටියේ නැද්ද? යනුවෙන් නැවත විමසු අවස්ථාවේදි ඔහු යළිත් ප්‍රකාශ කළේ '' මම අද වෙනකම් දැනගෙන හිටියේ නැහැ ස්වාමිනි'' යන්නය.
''ඔබ එහෙනම් කොහොමද මේ නිලධාරියාට ලක්ෂ 15ක වන්දි මුදලක් දෙන්න අනුමත කළේ? ඒ වගේම ඔහුට උසස්වීමක් ලබාදෙන්න නිර්දේශ කළේ?'' යනුවෙන් සභාපති විනිසුරුවරයා විමසීය.
'' ඔහු මියගිය නිසා තමයි ඒක ක්ෂණිකව කළේ'' යනුවෙන් පොලිස් නිලධාරියා එහිදි පිළිතුරු දී ඇත.
මෙම ජගත් චන්ද්‍රකුමාර පොලිස් නිලධාරියාට දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මෙහිදි කරුණු විමසා ඇත.
මෙම සිදුවිම සිදුවු 2023.12.31 වැනිදා උදේ 6.30ට පමණ තතත්පර 26ක ඇමතුමක් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දුරකථනයෙන් ඇමතුමක් ඔබට ඇවිත් තියෙනවා කියලා. එමෙන්ම එදින උදෑසන 8.10ට පමණ තව ඇමතුමක් ඇවිත් තියෙනවා මොනවාද ඔබ කතා කළේ? යනුවෙන් එහිදි දිලීප පිරිස් මහතා ප්‍රශ්න කළේය.
පොලිස් නිලධාරියා එහිදි ප්‍රකාශ කළේ ''මට මතක නැහැ '' යනුවෙනි.
වැලිගම සිද්ධිය ගැන පැවසුවාද යන්න අසපු පැනයටත් ඔහු තමාට මතක නැති බව ප්‍රකාශ කර තිබේ.
උදේ 6.30ට ආපු දුරකථන ඇමතුමේදීවත් දේශබන්දු තෙන්නකෝන් මහතා මේ ගැන පැවසුවේ නැද්ද යනුවෙන් සභාපති විනිසුරුවරයා ඇසු පැනයට ඔහු පිළිතුරු ලබාදෙමින් පැවසුවේ එලෙස නොපැවසු බවය.
ඔබට අලුයම 4 පසුවි විනාඩි කිහිපයකින් නෙවිල් සිල්වාගෙන් ඇමතුමක් පැමිණියේ නැද්ද යනුවෙන් දිලීප පිරිස් මහතා විමසා සිටියාය.
සාක්ෂිකරු පැවසුවේ ''මට මතක විදිහට නැහැ ස්වාමිනී '' යනුවෙනි.
එහිදි දිලීප පිරිස් මහතා දුරකථන වාර්තාවක් සාක්ෂිකරුට පෙන්වා එහි සඳහන් 31 වැනිදා අලුයම 4.40ට තත්පර 78ක නෙවිල් සිල්වාගෙන් ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳ කරුණු විමසීය.
සාක්ෂිකරු ඊටද ''මට මතක නැහැ'' යනුවෙන් ප්‍රකාශ කර ඇත.
මෙහිදි සභාපති විනිසුරුවරයා පවසා සිටියේ ''ඔබ හොඳවෙලාවට අද මේ කොමිසම හමුවේ පෙනි සිටියේ නැත්නම් හෙටත් ඔබ මේ ගැන දන්නේ නැහැ'' යනුවෙනි.
ඉන් අනතුරුව ඔහුගෙන් සාක්ෂි ලබාගැනීම අවසන් කෙරුණි.