ජර්මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති දිවයිනට
June 15, 2025 09:36 am
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජර්මනියේ නිල සංචාරයක නිරතවූ අතර ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් - වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුවය.
මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
එහිදී රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සොයා බැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මීට අමතරව, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ හමුවකටද සහභාගී විය.
ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.
ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද කටයුතු කළේය.
මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.