විදුලිබල පනතට එරෙහි පෙත්සම් විභාගකිරීම ඇරඹෙයි

විදුලිබල පනතට එරෙහි පෙත්සම් විභාගකිරීම ඇරඹෙයි

June 11, 2025   05:32 pm

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒවා සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින්ද සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විදුලිබල ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශව 7ක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගකිරීම ආරම්භ විය.

ඒ. එච්. එම්. ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකෙරේ.

මෙම පෙත්සම් විභාගයටගත් අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලිබල මණ්ඩලය සමාගමක් බවට පත්වන බවට පැහැදිලිව දක්වා ඇතැයි කියා සිටියේය.

එහි කොටස් භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පාලනය වන බව දක්වා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ජලය මගින් උත්පාදනය කරන විදුලිය පාලනය කරන ආකාරය එම පනත් කෙටුම්පත තුළින් පැහැදිලිව සඳහන් කර නොමැති බවද දන්වා සිටියේය.

මේ තුළින් ජල විදුලිය පාලනය කිරීමේ බලය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අනතුරු ඇඟවීය.

යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා දක්වා නොමැති බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඔහු තවදුරටත් කියාසිටියේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලිබල මණ්ඩලයේ සේවයෙන් ඉවත් කෙරන සේවකයන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සඳහන් කලද, එය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලිව දක්වා නොමැති බවයි.

මෙම පනත යටතේ පිහිටුවීමට යෝජිත සමාගම පාලනය කරන අධ්‍යක්ෂවරුන්ගේ සුදුසුකම් මොනවාදැයි? මෙම පනත් කෙටුම්පතේ විස්තරකර නොමැති අතර, ප්‍රධාන විධායක නිලධාරියා වාණිජ නීතිය පිළිබඳව විශේෂඥයෙකු විය යුතු බව පමණක් දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

යෝජිත පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.