වසර 4කදී ජීවන වියදම දෙගුණයක් වෙයි
May 28, 2025 01:15 pm
මෙරට පුද්ගලයින්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කෙසේවෙතත් 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් බව මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සඳහන් කළේය.
පසුගිය වසරවලට සාපේක්ෂව උද්ධමනය පහළ යෑමේ වාසිය වර්තමානයේ ජනතාවට හිමිවුවද 2021 වසරට සාපේක්ෂව සැසදීමේදී රටේ ජනතාවගේ ජීවන බර ඉහළ අගයක් ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.
"පොෟද්ගලික ආදායම් දිහා බැලුවත් අපිට පේනවා වැඩි වෙච්ච මිල මට්ටම් හින්දා ඒ වගේම වැඩි වෙච්ච ජීවන වියදම නිසා අසීරු තත්ත්වයක පවතින්නේ. උදාහරණයක් ලෙස බැලුවොත් 2021ත් එක්ක 2024 වසර බැලුවොත් ජීවන වියදම දෙගුණයක් වෙලා."
"උද්ධමනය අඩුවීමේ වාසිය දැනට මහජනතාවට ලැබෙනවා. නමුත් 2021ත් සමග සැසඳුවාම අපිට පේනවා ජීවන වියදම මහජනතාවට දැනෙන මට්ටමමක තිබෙනවා කියලා. රාජ්‍ය සේවකයන්ගේ වෙන්න පුළුවන්, පෞද්ගලික සේවකයන්ගේ වෙන්න පුළුවන්, ව්‍යාපාරවල ආදායම වෙන්න පුළුවන් ඒ ආදායම වැඩි වෙන්න ඒ වගේ ආර්ථික වර්ධනයක් පවතින්න ඕනේ."
"අපි හිතනවා ඒ වගේ ආර්ථිකයක් ඉදිරියේදී පවතීවි. ක්‍රමක්‍රමයෙන් මහජනතාවට නැතිවූ මූර්ත ආදායම නැවත ඇතිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා."
"සමහර වෙලාවට අපි දකිනවා රාජ්‍ය සේවයේ විශේෂයෙන් කලින් කලට වැටුප් වර්ධක දෙනවා. නමුත් ඒවා ඵලදායිතාව බලලා දෙන වැටුප් වර්ධක නෙමෙයි. ඒ නිසා මං හිතන්නේ අපි ආර්ථික විද්‍යාඥයින් ලෙස දකින දෙයක් තමයි වැටුප් වැඩි වෙනකොට ඒවා ඵලදායිතාවට සම්බන්ධ කරලා කරන්න ඕනේ."