ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්

ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්

May 26, 2025   04:27 pm

මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ ෆැබ්‍රිසියෝ ද ඔලිවෙයිරා මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයන් අතර අද ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී ෆැබ්‍රිසියෝ ද ඔලිවෙයිරා මහතා මේ බව සඳහන් කර ඇති බව ජනධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 

ජාත්‍යන්තර සිංහ සමාජය විසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිදු කරමින් තිබෙන  ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, විවිධ ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන්  සහ අධ්‍යාපනික ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට ද සභාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික වී තිබේ.

ජාත්‍යන්තර සිංහ සමාජය විසින් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති නව ව්‍යාපෘති සහ එහි ක්‍රියාකාරීත්වය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය ස්තූතියද පළ කර ඇති බව ජනධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.