දුමින්ද දිසානායක රිමාන්ඩ්

දුමින්ද දිසානායක රිමාන්ඩ්

May 24, 2025   01:27 pm

හැව්ලොක් සිටී නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් රන් හා රිදී ආලේපිත් ස්වයංක්‍රීය ගිනිඅවිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මැයි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (24) නියෝග කළේය.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනිඅවියක් සමග වැල්ලවත්ත පොලීසිය මගින් ඉකුත් අඟහරුවාදා අත්අඩංගුවට ගනු ලැබීය. 

එම ගිනිඅවිය රන් හා රිදී පැහැයෙන් වර්ණගන්වා තිබුණි. 

අත්අඩංගුවට ගනු ලැබුවේ 68 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ ලේලියයි.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ සේවය කළ අරක්කැමියෙක් මීට මාස 6කට පමණ පෙර මෙම ගිනිඅවිය තමන්ට ලබාදුන් බව වැඩිහිටි කාන්තාව පොලිසියට පවසා තිබුණි.

ඒ අනුව අදාළ අරක්කැමියාද රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූනි 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

එවන් පසුබිම හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ උදැසන තිඹිරිගස්යාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනුලැබීය.

ඔහුගෙන් අදාළ ගිනිඅවිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කෙරුණේ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා හමුවටයි.

සැකකරුව අධිකරණයට ඉදිරිපත් කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශනය ඊයේ දින පොලිස්පතිවරයා විසින් තම කොට්ඨාසයට යොමු කළ බවය. 

" ස්වාමිනි,  දුමින්ද දිසානායක නැමැති මෙම සැකකරු අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් දීලා ගිනිඅවිය තිබූ පාර්සලය යළි දැනුම් දෙනතුරු ඇයගේ සන්තකයේ තබාගන්න කියලා දැනුම්දීලා තිබෙනවා. "

මෙහිදී ප්‍රශ්නගත ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කරුණු දැක්වුවේය.

" ස්වාමිනි, මෙම ගිනිඅවිය දුමින්ද දිසානායක නැමැත්තාගේ පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ගිනිඅවියක්. මෙයට බලපත්‍රයක් තිබෙන බව මෙතෙක් අනාවරණය වී නැහැ. ගිනිඅවිය ඊයේ රජයේ රස පරීක්ෂකවරයාට යොමුකළා. සැකකාර දුමින්ද දිසානායකට එරෙහිව ගිනිඅවි ආංඥා පනතේ 43 වන වගන්තිය යටතේ චෝදනා ගොනුකර තිබීමත්, විමර්ශන අවසන් නොවීමත් පදනම් කරගෙන ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා." 

මෙහිදී සැකකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සිය සේවාදායකයාට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

"ස්වාමිනි, මගේ සේවාදායකයා වන දුමින්ද දිසානායක ඔය කියන කාන්තාවට දුරකථනයෙන් කථා කරලා ගිනිඅවිය සන්තකයේ තියාගන්න කිව්වයි කියන කාරණාව මම ප්‍රතික්ෂේප කරනවා. මොහුගේ තාත්තා හිටපු උතුරු මැද පළාත් මහඇමති. මොහු ඉපදුනේම යුද සමයේ T56 වටේ තියාගෙන. මොකද ඒ කළ අනුරාධපුරය කියන්නේ යුද්ධය දරුණුවටම පැතිර තිබූ ප්‍රදේශයක්. ඉතින් ගිනිඅවි කියන්නේ මොහුට අරුමයක් නොවේ. කොහොමද විශ්වාස කරන්නේ මොහු වයස්ගත කාන්තාවකට ගිනිඅවියක් බලාගන්න දුන්නා කියලා. "

එසේම සැකකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාද කරුණු දැක්වීමක් සිදුකළේය.

"ස්වාමිනි, කවුරුහරි හුදු ප්‍රකාශයක් කළ පමණින් එකී ප්‍රකාශය මත පමණක් පදනම්වෙලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්ද? ස්වාමිනි හෙට කවුරුහරි කිව්වොත් ෆයිසර් මුස්තාපා තුවක්කුවක් දුන්නා කියලා, ඒ මත පමණක් පදනම්වෙලා මාවත් Arrest කරනවාද?  මම අහන්නේ කෝ වෙනත් සාක්ෂි? "

ඒ අනුව සිය සේවාදායකයා වෙනුවෙන් ගල්කිස්ස ස්ථිර මහේස්ත්‍රාත්වරයා හමුවේ ඇප අයැදුමක් සිදුකිරීමට දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරුන් දෙපළ ඉල්ලීමක් කළේය. 

කරුණු සලකා බැලූ ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් ඇප අයැදුම ඉදිරිපත් කිරීමට මැයි 29 වනදා ලබාදෙමින් සැකකාර දුමින්ද දිසානායක එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍යවරයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රෝහලට යොමුකර ඇති බව වාර්තාවෙයි.