ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි

ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි

May 24, 2025   10:10 am

සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් විය.

ඒ අනුව එම කඩඉම වේගයෙන්ම පසුකළ පිතිකරුවා ලෙසත්, ඊට ළඟා වූ පළමු හා එකම එංගලන්ත පිතිකරුවා ලෙසත් රූට් වාර්තා අතරට ගියේය.  

සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය වූ ඊයේ (23) එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 34ක් ලබා ගනිමින් ඔහු මෙම ප්‍රභූ ලැයිස්තුවට එක් විය.

මෙම තරගයට පෙර තරග 152කදී ලකුණු 12,972ක් ලබා සිටි රූට්ට 13,000ක සමාජයට ළඟාවීමට ලකුණු 28ක් පසුපසින් සිටියේය.

මේ වනවිට ලකුණු 13,006ක් රැස්කරගෙන සිටින රූට් ශතක 36ක් හා අර්ධ ශතක 65ක් වාර්තා කර ඇත.

ඔහු ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් ලකුණු 13,000 කඩඉම පසුකළ පස්වන ක්‍රීඩකයාද වෙයි.

රූට්ට ඉදිරියෙන් සචින් තෙන්ඩුල්කාර් (15,921), රිකී පොන්ටින් (13,378), ජැක් කලිස් (13,289) හා රාහුල් ඩ්‍රාවිඩ් (13,288) රැඳී සිටියි.

ඒ අනුව තවමත් 34වන වියේ පසුවන රූට්ට ලොව වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් පසුකර යෑමට අවශ්‍ය ඇත්තේ තවත් ලකුණු 2,916ක් පමණි.