සජබ අපේක්ෂකයාට වෙඩිතැබූ සැකකරුවන් මාට්ටු
May 22, 2025 07:53 am
මෙවර පළාත් පාලන මැතිවරණයට කළුතර මහනගර සභාවට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 04 වනදා පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාටය.
සැකකරුවන් තිදෙනා සමඟ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ වෙඩි තැබීම සිදුකළ ගිනි අවියද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එක් සැකකරුවෙකු පළමුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් සැකකරුවන් දෙදෙනා සහ වෙඩිතැබීම සිදුකළ ගිනිඅවිය සොයාගෙන ඇත.
එමෙන්ම සැකකරුවන් තිදෙනාගෙන්ම වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවෙන් පයාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සඟවා තිබු තවත් යතුරුපැදි 6ක් සොයාගෙන ඇත.
සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් ප්‍රදේශ කිහිපයකින් මෙලෙස යතුරු පැදි සොරකම් කර ඇති බවය.
මෙම යතුරුපැදි කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බෝම්බුවල නවීන් නමැත්තාට විවිධ අපරාධ සඳහා මොවුන් විසින් ලබා දී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතබව වාර්තා වේ.