සේවය නිමකළ ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති හිමිපාණන් විදෙස් ඇමති හමුවෙයි

සේවය නිමකළ ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති හිමිපාණන් විදෙස් ඇමති හමුවෙයි

May 21, 2025   05:54 pm

ශ්‍රී ලංකාවේ වෙසෙන වතිකාන තානාපති බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන් සිය ධුර කාලය අවසන්ව පිටත්ව යාමට පෙර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසී තිබේ.

අද (21) අමාත්‍යාංශ කාර්යාලයේදී එම හමුව සිදුව ඇත.

2020 වසරේ සිට ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති ලෙස කටයුතු කර ඇති උඩයිග්වේ හිමිපාණන් තමන් ශ්‍රී ලංකාවේ ගත කළ කාලය අමතක නොවන සිදුවීම්වලින් ගහණ වූ කාල පරිච්ඡේදයක් බවත් ශ්‍රී ලංකාව ඉතාමාත් දැකුම්කළු රටක් ලෙස තම මතකයේ දිගුකල් රැඳෙනු ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා සමග පවසා තිබේ.

අමාත්‍යවරයා විතිකානයේ පැවැති ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම පිළිබඳ වතිකානය වෙනුවෙන් තානාපති හිමිපාණන් අමාත්‍ය විජිත හේරත් මහතා වෙත කෘතඥතාව පළ කළේ ය.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වතිකාන තානාපති හිමිපාණන්ට ස්තූති කළ අමාත්‍යවරයා වතිකානය සෑම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් සහනශීලීව කටයුතු කර ඇති බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්තූතිය පිරිනමන බවත් දැනුම් දුන්නේ ය.

ඉතියෝපියාවේ වතිකාන තානාපති ලෙස පිටත්ව යන උඩයිග්වේ හිමිපාණන්ගේ ඉදිරි කටයුතු සම්පූර්ණයෙන් සාර්ථක වේවායි අමාත්‍යවරයා තානාපති හිමිපාණන් වෙත සුබපැතුම් පළකර තිබේ.