අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්  

අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිරදඬුවම්  

May 9, 2025   01:37 pm

හත් හැවිරිදි සිය දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30 හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියමකර ඇත.

එහෙත් එම සිරදඬුවම වසර 10කින් ගෙවී යා යුතු බවත් තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

ඊට අමතරව විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

එමෙන්ම විත්තිකරුට රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරු රජයේ නිලධාරියෙකු වශයෙන් තම වගකීම ඉටුකිරීම සඳහා මේ ආකාරයෙන් අසරණ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය. 

මෙම වරදේ බරපතළභාවය සැලකිල්ලට ගැනීමේදී ලිහිල් දඬුවම් නියමකිරීමට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කර ඇත.

2015 වසරේ මාර්තු මස 31 වනදා වකුගඩු ආබාධයෙන් පෙළන සිය හත් හැවිරිදි දරුවාට සැත්කමක් සිදු කිරීම සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය  අනුමැතිය ලබාදීම සඳහා තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇයව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේදී විත්තිකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

ඉන් අනතුරුව මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුර තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව නියෝග කළේය.

ඒ අනුව මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.