දකුණු අප්‍රිකානු ක්‍රිකට් සියලු අංශ කොන්රාඩ් යටතට

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සියලු අංශ කොන්රාඩ් යටතට

May 9, 2025   06:50 pm

දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ශුක්රි කොන්රාඩ්, එරට සියලුම අංශයන්හි පුහුණුකරු ලෙසින් පත්කර තිබේ.

දකුණු අප්‍රිකානු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන 58 හැවිරිදි කොන්රාඩ්, 2023 වසරේ දී එරට ටෙස්ට් පුහුණුකරු ලෙසින් පත්විය.

කොන්රාඩ්ගේ මගපෙන්වීම යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම 2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ද මේ වනවිට සුදුසුකම් ලබා සිටියි.

එම තරගය එළැඹෙන ජූනි මස 11-15 දිනවල ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.

කොන්රාඩ්ගේ එම සාර්ථක්වය හේතුවෙන් මෙලෙස එක්දින හා විස්සයි20 කණ්ඩායම්හිද වගකීම ද ඔහුට ලබාදී ඇත. 

ඒ අනුව 2027 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය දක්වා කොන්රාඩ් දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර කණ්ඩායම්වල වගකීම දරනු ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසයි.

ඔහුගේ පළමු සුදු පන්දු පැවරුම ජූලි මාසයේදී සිම්බාබ්වේ සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය වනු ඇත.

දකුණු අප්‍රිකානු සීමිත පන්දුවාර කණ්ඩායම්වල පුහුණුකරු ලෙසින් කටයුතු කළ රොබ් වෝල්ටර් මෙම වසරේ පැවති චැම්පියන්ස් කුසලානයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.