රුපියල් කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවෙකු කොටු වෙයි

රුපියල් කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවෙකු කොටු වෙයි

May 9, 2025   06:54 am

රුපියල් 20,840,000ක් වටින් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලෑමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වී තිබේ.

2025.05.03 වන දින සපුගස්කන්ද පොලිස් වසමේදී අවිපෙන්වා බිය ගන්වා මෙලෙස දෙකෝටි අට ලක්ෂ හතලිස් දාහක් වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මක කළේය.

ඒ අනුව ඊයේ (08) දින උදෑසන කාලයේදී කිරිඳිවැල පොලිස් වසමේ රඳාවාන මාහේන හන්දිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 61ක් වන කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රන් මුදුවක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.