ලොකු පැටීගේ ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙන හැටි

ලොකු පැටීගේ ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙන හැටි

May 4, 2025   11:32 am

විදෙස්ගතව සිටියදී ලංකාවට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" නැමැත්තා සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් රැඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.

දිවයිනට රැගෙන ආ ලොකු පැටී නැමැත්තා සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍යවරයා අද (04) ඒ බව සඳහන් කළේය.

"අද රැගෙන ආ මෙම "ලොකු පැටී" කියන අපරාධකරුගේ විමර්ශන අනුව අපිට තහවුරුවෙලා තිබෙනවා පසුගිය කාලසීමාවේ සිදුවුණු වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම, ඒ වගේම ඊට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතන කිහිපයක්, ඒ වගේම මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම්, අවි ආයුධ ළඟ තබා ගැනීම් ආදී අපරාධ ගණනාවකට අවශ්‍ය වෙලා හිටපු ප්‍රධාන පෙලේ අපරාධකරුවෙක් ඒ අනුව ඔහු සම්බන්ධයෙන් ඉදිරියේද නීතිය ක්‍රියාත්මක වෙනවා, ඔහු සම්බන්ධයෙන් අවශ්‍ය වුවහොත් රැඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටත් අපි කටයුතු කරනවා. කෙසේ වුවත් රටේ පවතින නීතිය අනුව ඔහුට එරෙහිව ඒ නීතිය ක්‍රියාත්ම කරනවා."         

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, පසුගිය මාස 04ක කාල සීමාව තුළ ලංකාවට රැගෙන ආ 11 වෙනි අපරාධකරු ලොකු පැටී බවය.

එමෙන්ම ලංකාව තුළ අපරාධ සිදුකර විදෙස් රටවල ගොස් මෙරට අපරාධ සිදුකරන අපරාධකරුවන් මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලිය දිගටම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු සඳහන් කර සිටියේ, ඩුබායි, ඉන්දියාව, කැනඩාව වැනි රටවල සිටින මෙවැනි අපරාධකරුවන් 20කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී ලංකාවට ගෙන ඒම සඳහා මේ වනවිටත් අදාළ කටයුතු සූදානම් කර ඇති බවය.