හෙට ප්‍රධාන පක්ෂවල කම්කරු දිනය සමරන තැන්

හෙට ප්‍රධාන පක්ෂවල කම්කරු දිනය සමරන තැන්

April 30, 2025   06:46 pm

හෙටට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වන විට සියලු පක්ෂ සුදානම් වෙමින් පවතියි.

ජාතික ජන බලවේගය විසින් සිය මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

"රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැළිය" යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම මැයි දින සැමරුම පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ඒ සඳහා මේ වන විටත් සියලු කටයුතු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වීමට සැලසුම්කර ඇත.

"රට දිනුමට කම්කරු බලය" යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය පවත්වන බව සමගි ජන බලවේගයේ නුවර එළිය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අශෝක සේපාල මහතා සඳහන් කළේය.

"රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු" යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන මැයි දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන බව එම පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ විසින් පවත්වනු ලබන මැයි දින උත්සවය පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු කරන බව එම පක්ෂයේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක ප්‍රසන්න කලුතරගේ මහතා පවසයි.

"කම්කරුවා ව්‍යවසායකත්වය කරා" යන තේමාවෙන් මෙවර මැයි දින රැළිය පැවැත්වීමට කටයුතු කරන බව සර්ව ජන බල පක්ෂය සඳහන් කළේය.

වරකාපොළ සතිපොළ භූමියේ දී උදෑසන 10.30ට එය පැවැත්වීමට නියමිතය. 

සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැළිය පැවැත්වීමට නියමිතය.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

මේ අතර හෙට පැවැත්වෙන මැයි දින පෙළපාළි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති  බවයි.

කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතව බවඳ එම නිවේදනයේ සඳහන් වේ.

කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මඟහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියදුරන්ට උපදෙස් දී ඇත.