රජය සහ විශ්‍රාමිකයින් අතර එකඟතාවයක්
April 29, 2025 08:26 pm
විශ්‍රාමකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් අතර අද (29) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.
මුදල් අමාත්‍යංශයේදී පැවති එම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත්තේ විශ්‍රාමිකයින් මුහුණදී ඇති වැටුප් විෂමතාවය සම්බන්ධයෙනි.
එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇත්තේ මෙවර රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් සංශෝධනය, 2015 සිට විශ්‍රාම වැටුප් අහිමි කිරීම සහ 1997 බී. සී. පෙරේරා කොමිසමේ නිර්දේශ හරහා ගුරු විදුහල්පතිවරුන්ට සිදුවී ඇති වැටුප් විෂමතාවය ආදී කරුණු පිළිබඳවය.
මේ පිළිබඳ අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඉතා ඵලදායි ලෙස අදාළ සාකච්ඡාව අවසන් වූ බවය.
ලක්ෂ 7කට වැඩි මෙරට විශ්‍රාමික ප්‍රජාව මුහුණ පා ඇති මෙම වැටුප් ගැටළුව විසඳීම සඳහා රජය කඩිනමින් මැදිහත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
අදාළ ගැටළුව පිළිබඳ තවත් සාකච්ඡාවක් මැයි 01 වනදා පැවැත්වීමට අද පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇත.
එම සාකච්ඡාව සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ද සහභාගී වීමට නියමිතය.